“ඒ කාලෙ මම ඉස්කොලේ යන කෙල්ල, නමුත් මට වයස මතක නැහැ. ලොකු ගංවතුරක් අවා. අපිව යටකරගෙන ගියා. ආධාර දෙනවා එන්න කියලා හැම තැනම ප්‍රචාරය ගියා. අප...
“ඒ කාලෙ මම ඉස්කොලේ යන කෙල්ල, නමුත් මට වයස මතක නැහැ. ලොකු ගංවතුරක් අවා. අපිව යටකරගෙන ගියා. ආධාර දෙනවා එන්න කියලා හැම තැනම ප්‍රචාරය ගියා. අපේ ආච්චි මාවත් එක්කන් ගියා ආධාර ගන්න.
ලොකු පාරුවකින් තමයි ආධාර අරන් ඇවිල්ල තිබුණේ. ඒ පාරුවේ තිබුණේ හාල්. නම කිව්වම ආධාර දුන්නා. ඒ දවස්වල මේ වගේ වැඩකට ගියාම සම්පුර්ණ නම කියන්න ඕනෑ.
අපේ ආච්චි එයාගේ නම කිව්වම නම අහලා අපෝ මෙයා ලොකු පවුලක කෙනෙක් මෙයාට ආධාර නැහැ කිව්වා.”
“අපේ ආච්චිගේ නම මොකද්ද දන්නවද ?…. ශ්‍රී වික්‍රම රාජසිංහ මුදියන්සේලාගේ දෝන එලිසබෙත් කුමාරි හාමි.”
පරම්පරා හතක මතකය අවදි කළ මේ මාතාව මට හමු වුණේ මගේ උපන් ගම වන පානදුරේදීය. මා උපන් ‘කේතුමතිය’ට පේන දුරින් ජීවත් වන ඇය වැලිගමගේ සිදර් ඩයස්ය. ඇය උපත ලබා ඇත්තේ 1916 වර්ෂයේ උදුවප් මස 14 වන කැලණියේදීය. මේ වන විට ඇගේ වයස අවුරුදු 102කි.
දරුවන් සත්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ සිදර් මතාවගේ පියා, ඩබ්ලිව්. සූටින් අප්පුහාමි වූ අතර මව දෝන කතිරිනා හාමිය. “මම හත පාස්” ඇය මහත් ආඩම්බරයෙන් පැවසුවාය.
“මම ඉගෙන ගන්න දක්ෂයි. පන්තියේ පළවෙනියා. මට හොදට ගණන් පුළුවන්. මගේ පන්තියේම තමයි මගේ ලොකු නංගි ඇඩ්ලින් හිටියේ. මම එයාට ආදරේට කිව්වේ සුදා කියලා. එයත් මං වගේම සුදුයි. අපි හත පාස් වෙලා අටේ ඉද්දි තමයි මේක වුණේ. අපට හිටියා අලහකෝන් කියල ගුරුතුමියක්. අපි කිව්වේ අලහකෝන් හාමිනේ කියලා. එයා ලස්සනයි. ඒ වගේම වසයි. එයාට හරි බයයි ළමයි ඔක්කොම.
දවසක් එයා අපිට ගණන් වගයක් දුන්නා. මම හැදුවා, නංගිට හදන්න බැරි වුණා ඉස්කෝලේ හාමිනේ කළේ මහා අව්වේ නංගිව දන ගස්සලා, මාව ගෙදර යැව්වා. මම දුවගෙන ඇවිල්ල අප්පච්චිට කිව්වා අප්පච්චි අපිට හරි ආදරෙයි .
අප්පච්චි ඉස්කෝලෙට දුවගෙනම ගියා ඒ ගිහින් නංගිට දඩුවම් කළා කියලා අපි දෙන්නවම ඉස්කෝලෙන් අස් කරගෙන ආවා. මටත් එදා හිතුණේ නැහැ. අප්පච්චි වැරදියි කියලා. එකෙන් තමයි මගේ ගුරුවරියක් වීමේ සිහිනය බොඳ වුණේ. ඉස්කෝලේ හාමිනේට දඬුවමක් දෙන්න හිතාගෙන අපි දෙන්නව ඉස්කෝලෙන් අස් කළාට දඩුවම් විදින්න වුණේ අපට” ඒ ගුරුවරිය හා සිය පියා හේතුවෙන් පාසල් ගමන නතර කිරීමට සිදු වුවත් අපේ කතා නායිකාවට මේ දෙදෙනා පිළිබදවම තරහක් නොතිබිණි. ඇය තම ගුරුවරිය පිළිබදව අදත් කතා කරන්නේ ගෞරවය හා ආදරය මුසු බියකිනි.
අවුරුදු හැත්තෑ හයක කාලයක් නොකඩවා පෝය දිනයට සිල් සමාදන් වූ මාතාවකි සිදර් හාමිනේ. පාසල් ගමනට අකමැත්තෙන් වුවද ආයුබෝවන් කීමෙන් පසු ඇයට සිදුව ඇත්තේ සිය මවගේ කඩයප්පන් රැකියාවට සහය වීමටයි. කඩයප්පන් සෑදීම සදහා උදේ රැයින් නැගිටින මවට අත්උදව් දීමටත් එසේ හදන ලද කඩයප්පන් කඩවලට දැමීමත් සිදර් හාමිනේට පැවරුණු රාජකාරි වී තිබේ. මේ කාලය තුළ ඇය දහමින් පෝෂණය වෙමින් පිං දහම් කර තිබේ. ඇයගේ පියකරු මුහුණ දකින කිසිවකුට, ඇය සියවස සපිරූ කෙනෙකු යැයි නොසිතේ. ඊට හේතුව ඇයගේ පිවිතුරු හදවත විය යුතුය.
“අවුරුදු දහ හතරෙන් විතර තමයි මට මේ රාජකාරි පැවරුණේ. සුදා එක්ක මට කේන්තියක් තිබුණත් මම ඒ කේන්තිය නිවා ගත්තේ පන්සලට ගිහින්. මම ඊට පස්සේ හැම පෝයකටම සිල් ගන්න පුරුදු වුණා. අවුරුදු දහ හතරේදී පටන් ගත්ත මේ සිල් සමාදන් වීම මට අවුරුදු අනූව වෙනකම් එක දිගටම කළා. කොටින්ම මම කසාද බැඳලා ගෙදර ආවේ පෝය දවසක එදත් සිල් ගත්තා. මම කරපු එකම පව් වැඩේ කුකුල්ලු හදපු එක තමයි. එකත් කළේ නැති බැරි කමට. දැන් අවුරුදු දහයක ඉදලා මම ඉන්නේ ලොකු දුවගේ පානදුරේ ගෙදර. දැන් පුළුවන් වෙලාවට එයා මාව පෝයට පන්සලට එක්කන් යනවා.
සිදර් මාතාව දැන් දිවි ගෙවන්නේ ඇගේ හතරවන පරම්පරාව සමගයි. ඇය සහ ඇගේ දරුවන් එකට සිටින ජයරූපයක් ඇය වර්තමානයේ ජීවත් වන නිවසේ තබා ඇති අතර එහි වමේ සිදර් මාතාවද පිළිවෙළින් ඇගේ වැඩිමහල් දියණිය මියුරින් අමරසිංහ, ඇගේ දියණිය වසන්තා ගීතාන්ජලි , ඇගේ දියණිය සලුකා නිමාෂි ,හා ඇගේ දියණිය හා පුත්‍ර රත්නය වන දහම්යා හා නේතන සිටිති. මා මේ ඡායාරූපය මගේ කැමරාවේ සටහන් කරගන්නා අයුරු දුටු ඇය, ‘අනේ මගේ මහත්තයත් ඉන්න එකක් ගන්න‘ යැයි ඉල්ලා සිටියාය. ඇය සිය ස්වාමියා වන යෝතන් මල්ලිකාරච්චි මහතා සමග ගෙන ඇති ඡායාරූප හිඟ වීම පිළිබදවද කතා කළේ කනස්සල්ලෙනි. ස්වාමියා මියගොස් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඇගේ ආදරයේ අඩුවක් නොවූ බව, ඇය ඊළඟට කියූ දෙයින්ද තහවුරු විය.
“දන්නවද මට මහත්තයා හම්බ වුණේ කොහොමද කියලා? ඇය තම ආදරවන්තයා හමු වූ අයුරු ස්වේච්චාවේන්ම කීමට ඉදිරිපත් විණි. “මම මුලින් කිව්වේ කඩයප්පන් කඩවලට අරන් ගියා කියලා. මහත්තයටත් තිබුණා කඩයක්. මම ඒ කඩේටත් ඉඳි ආප්ප අරන් ගියා. ඒ ගිහින් තමයි දෙන්න මුණ ගැහුණේ. ඊට පස්සේ මහත්තයා ගෙදරින් ඇහුවා. ගෙදරින් අකමැති වෙන්න හේතුවක් තිබුණේ නැහැ. මහත්තයා ඒ තරම් හොඳ කෙනෙක්. වයස් අවුරුදු 17දී මම කසාද බැන්දා. ළමයි පස් දෙනෙකුත් හැදුවා.”
සිදර් මාතාවගේ වැඩිමලා දියණියකි. ඇය මේ වන විට ඇය සමග තනි නොතනියට ජීවත් වෙයි. දෝන මියුරින් අමරසිංහ නම් ඇය මේ වන විට අසූ හතරවන වියහි පසු වෙයි. ඇය විභාග දෙපාර්තුමේන්තුවේ දත්ත සකස් කිරීමේ නිලධාරිනියක ලෙස සේවය කර ඇත. ඇයගේ එක් පුත්‍රයෙක් යුද්ධයේදී දිවි පුදා ඇති අතර තවත් පුත්‍රයෙක් යුධ හමුදාවේ ඉහළ නිලයක සිටි. සිදර් මාතාවගේ දෙවැනි පුත්‍රයා වූ දොන් ධර්මදාස අමරසිංහ මේ වන විට ජීවතුන් අතර නොමැත. තෙවැන්නා නිමලදාස අමරසිංහ මහතා මහා බැංකුවේ සේවය කර විශ්‍රාම ලබා සිටී. ආරියදාස අමරසිංහ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කර ඇති අතර මේ වන විට ජීවතුන් අතර නැත. චන්ද්‍රාවති අමරසිංහ පවුලේ බාල දියණියි.
“මම තාම රජයට බරක් වෙලා නැහැ . ආණ්ඩුවෙන් අවුරුදු සියය ඉක්මවුවන්ට දෙන රුපියල් විසිපන්දාහස වත් මට ලැබුණේ නැහැ . එක ලැබුණේ නැහැ කියලා මගේ දරුවෝ මට නොසලකා හැරලා නැහැ ඒ අය මාව බලාගන්නේ රැජිනක් වගේ. ඇත්තටම මම රැජිනක්”



COMMENTS