ඩුබායිහි පැවති වෛද්‍යවරුන්ගේ සමුළුවකට සහභාගි වීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ බැංකු නිලධාරියකු ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් FitsAir...
ඩුබායිහි පැවති වෛද්‍යවරුන්ගේ සමුළුවකට සහභාගි වීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ බැංකු නිලධාරියකු ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් FitsAir සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා යමින් සිටියදී ඔවුන්ගේ අත්බෑගවල තිබූ රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
මේ මුදල් නැතිවී ඇත්තේ FitsAir ගුවන් යානයේ මගීන්ගේ අත්බෑග තබනු ලබන කුටියේ තබා තිබූ අත්බෑග තුළ තිබියදී බවත් පැවසේ.
එසේ නැතිව ඇති සමස්ථ මුදල ඇමරිකානු ඩොලර් 15,000ක් හා ඩිරාම් 6,000ක් බවද වාර්තා වේ.
එම ගුවන් යානයේ ගමන්ගත් යුද හමුදා රෝහලේ සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ඇමරිකානු ඩොලර් 3,000ක් තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ඇමරිකානු ඩොලර් 3,000ක් හා 2,500ක් සහ බැංකු නිලධාරියකුට අයත් ඇමරිකානු ඩොලර් 2,000ක් හා ඩිරාම් 3,000ක් ද එම ගුවන්යානයේ ගමන්ගත් තවත් මගීන් කිහිප දෙනෙකුගේ ඇමරිකානු ඩොලර් 5000කට ආසන්න මදුලක් හා ඩිරාම්ද සොරකම්කර ඇති බවට කටුනායක ගුවන්තොටුපළ පොලිසියට සහ නොම්බර 09, අබ්දුල් ගෆූර් මාවත, කොළඹ 03 යන ලිපිනයේ පිහිටි FitsAir ගුවන් සමාගම් ශාඛාවට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
සමුළුවට සහභාගි වූ වෛද්‍යවරුන්ට අතමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද එම ගුවන් යානයේ ගමන් කර ඇති බවත්, එම ගුවනයානයේ මගින්ගේ ගමනාන්තය වූ ඩුබායිහිදී ඔවුන්ගේ අත් බෑග පරික්ෂා කිරීමේදී මේ මුදල් නැතිවී ඇති බව තහවුරුව තිබේ.
මුදල් නොමැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති ඔවුන් ඒ පිළිබඳව ඩුබායි පොලිසියට පවසා ඇතත්, ඩුබායි පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සහ කටුනායක ගුවන්තොටුපළට පැමිණිලි කරන ලෙසයි.
ඔවුන් ලංකාවට පැමිණි විගස කටුනායක ගුවන් තොටුපළ පොලීසියට සහ අදාල ගුවන් සමාගමට පැමිණිලි කළ ද මේ දක්වා මුදල් හෝ සොරුන් අල්ලා ගැනීමට කිසිදු පාර්ශ්වයක් සමත් වී නොමැති බවද වාර්තා වේ.
අගතියට පත් මගීන් කොල්ලූපිටියේ පිහිටි අදාළ ගුවන් සමාගමට ගියද ඔවුන් මගහරින තත්ත්වයක් ඇතිවී ඇති අතර අදාළ ගුවන් යානය තුළ සීසීටීවී කැමරාවක්වත් නොමැති බව පැවසේ.
එම සිද්ධියෙන් පසු දින ඩුබායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයකදී හොරකමක් කෙළේ යැයි විදේශිකයකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම විදේශිකයා මෙම සොරකම වූ ගුවන් යානයේ ගමන් කර ඇති බවට වාර්තා වන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් අදාල ගුවන් සමාගම මගීන්ගේ මුදල් ඇතුළු දේපළ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් වගකිය යුතු බවත් ඔවුන්ට එසේ වගකීමෙන් බැහැර විය නොහැකි බවත් අගතියට පත් මගීහු කියා සිටිති.
මෙම සිද්ධිය පිළිබඳව “ලංකාදීප” අදාල ගුවන් සමාගමෙන් කළ විමසමකදී එහි කළමනාකරුවකු යැයි සඳහන් කළ පුද්ගලයකු ජනමාධ්‍යට කිසිවක් පැවැසිය නොහැකි බව සඳහන් කර තිබේ.
FitsAir ගුවන් සමාගම ආබ්දීන් හෝල්ඩිංග්ස් සමාගමට (Aberdeen Holdings) අයත් එකක් වන අතර එහි ආබ්දීන් හෝල්ඩිංග්ස් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සතාර් කාසිම් මහතාය. මෙය කාසිම් පවුලේ සමාගමක් ලෙස ද වැඩිදෙනෙකු සලකනු ලැබේ.

COMMENTS