Hot!

නවතම පුවත්

පරපීඩකත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික සමාජය

පරපීඩකත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික සමාජය
රටක උගතුන් බිහි කරන විශ්ව විද්‍යාල පද්දතිය තුලද පරපීඩකත්වය රජ කිරීම මගින් පෙන්වන්නේ එම රට විසින් බිහි කරන උගතුන් ගේ ගුණාත්මක භාවය මෙන්ම ඔවුන් ගේ ආකල්පමය ස්වභාවයයි. මේවා ගැන කතා කරන විට හිටපු නවක වධකයෝ උරණ වෙති. මෙන්න නිදහස් අධ්‍යාපනයට ගහනවෝ , සයිටම් එක නීති ගත කරනවෝ , පුද්ගලික විශ්ව විද්‍යාල ගේන්නට හදනවෝ කියමින් ට්‍රැක් පන්නති. එමගින් විශ්ව විද්‍යලීය ප්‍රචණ්ඩත්වය සාධාරණීකරනය කරති 
 
පහත ලිපිය උපුටා ගන්නා ලද්දේ  චමිතගේ සිහින කොදෙව්ව බ්ලොගයෙනි. එහි මෙසේ සඳහන් වෙයි 
 
............විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිට ම කිසිවෙකුට හෝ මා අතවරයට/අපයෝජනයට ලක් කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රබල හැඟීමක් මා තුළ වූ අතර එය ක්‍රියාවට නැංවීමට ද මට කිසිදු බාධාවක් තිබුණේ නැත. සරසවිය තුළට පිවිස පැයක් යාමට මත්තෙන් තෙල බෙදීමේ ව්‍යාපාරය ඇරඹුණු අතර එක් එක් ශිෂ්‍යයාගේ කරට අත දමාගෙන අහු මුලු වලට ඇදගෙන ගොස් "කැම්පස් එකේ නියම fun එක ගන්න නම් අපිත් එක්ක එන්න" යන පණිවිඩය විවිධාකාරයෙන් සිසුන් වෙත ගෙන යෑමට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි......
 
...........නවක වදයට ලක් නොවන සිසුන් කොන් කිරීමට මේ දිනවල ජ්‍යේෂ්ඨ උත්තමයෝ අසීමිත වෙහෙසක් ගනිති. ඔවුනගේ ප්‍රධානතම තුරුම්පුව වන්නේ විශ්ව විද්‍යාල ආපන ශාලාව ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ආපන ශාලා තුනක් ඇත. එකක් විශ්ව විද්‍යාලයේ එක් අර්ධයක පිහිටා ඇති අතර එය බොහෝ දුරට අලයන්ට ම අයත් එකකි. මේ දින වල වාත කිරීමට ගෙන යන නවක ශිෂ්‍යයන්ට ඒ පැත්තට වත් ඒමට ජ්‍යෙෂ්ඨ උත්තමයන් ඉඩ නොදේ. ඔවුන්ට ඇති භීතිකාව නම් අප අත්විඳින නිදහස දැක දැනට වාත වන ශිෂ්‍යයන් ද නවක වදයට එරෙහි වනු ඇත ය යන්නයි. විශ්ව විද්‍යාලය තුළ නිදහස ගැන කතා කරන බක පණ්ඩිතයන්ගේ ක්‍රියාකාරීත්වය එසේ ය.  අනෙක් ආපන ශාලාව නම් ඉංජිනේරු පීඨ සිසුන්ට වෙන්ව ඇති අක්බාර් නේවාසිකාගාරයේ ආපන ශාලාවයි. මේ දින වල නවක වදයට එරෙහි වීමට හැකියාවක් නැති නවක සිසුන් දිගට හරහට අපයෝජනයට ලක් කරන්නේ මේ ස්ථානය තුළයි. මේ තුළට ගමන් කිරීම අනිවාර්යයෙන් ම ගැටුමකට මුලපුරන කරුණක් වන නිසාත්, දිගින් දිගටම අපයෝජනයට ලක් වීම හරහා ප්‍රබල මානසික ආතතියකින් පසුවන සිසුනට, වදයට ලක්වන අතරවාරයේ, විශ්ව විද්‍යාලය තුළ සැබෑ නිදහස භුක්ති විඳින අප දැකීම ලැජ්ජාවට හා කම්පනයට හේතු විය හැකි නිසාත් මේ ස්ථානය මඟහැරීමට අපි කටයුතු කරමු.........
 
....... පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහි වීම තරමක අභියෝගාත්මක කරුණක් බව කිව යුතු ය. මන්ද නවක වදයට එරෙහි වන්නන් තර්ජනයෙන්, කුණුහරුපයෙන් බියගැන්වීමට පිරිසක් නිරන්තරයෙන් ම කටයුතු කරන බැවිනි. ....
 
........සමස්ත ජ්‍යෙෂ්ඨ බැච් එක තුළ සිසුන් 415ක් පමණ සිටියත් රැග ක්‍රියාත්මක කිරීම සඳහා සක්‍රීයව දායක වන්නේ 50කටත් අඩු පිරිසකි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බව කිව යුතු ය. මන්ද අති බහුතරයක් වූ සිසුන් තමන් ලද අමිහිරි අත්දැකීම තම මල්ලිලා නංගිලාට උරුම කර නොදීමට තීරණය කිරීම ඔවුන් තමන්ගේ හෘද සක්ෂිය සමඟ හෙට්ටු වී ඇතිකරගත් තීරණයක් බව පෙනෙන නිසා ය. නමුත් වාත සමය හරහා තමන් තුළ ජනිත වූ දැඩි හීන මානය දුරුකරගත නොහැකි වූ සුළුපිරිසක් අනෙක් අයගේ ද අඩුව පිරවීමට මෙන් වියරුවෙන් කටයුතු කරති. එහි අවාසනාවන්ත ගොදුරු වී ඇත්තේ දුර බැහැර පළාත් වලින් ආ, තමන්ට වන අසාධාරණය පිළිබඳ හඬක් නැගීමට අපහසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. දැන් ඔවුන් ඔවුනගේ දුක කියන්නේ අපට ය. ඔවුන් අද මුහුණදී ඇති තත්ත්වය ඉතාම කණගාටුදායක වන අතර එම තත්ත්වය මඳකට හෝ දුරු කරවීමට අපි මේ දවස් වල මහත් සේ වෙහෙසෙමු......
 
.........ඔවුනගේ එක් අරමුණක් වන්නේ අප වලියකට ඇදගැනීම ය. නමුත් එය සාර්ථක නොවන බව දැනගත් විට ඇස් දෙක දෙස කෙළින් බලා, ඇඟිලි දෙකක් දික් කොට, කටහඬ ගැඹුරු කොට "උඹල ආයෙ මේ පැත්තෙ ආවෙ නැති වුණාට කමක් නෑ" කියන්නේ අප බිය වේ යැයි සිතාගෙන විය යුතුය. අවාසනාවකට මෙන් ඔවුනට වඩා මැර පෙනුමක් ඇති සිසුහු අපේ ඉස්කෝල වලත් සිටියෝ ය. අවසානයේ අප හැමදාමත් එතැන ය. නමුත් සද්දය දැමීමට එන්නෝ නැත.  තවදුරටත් සමීපව කතා කොට අධ්‍යයනය ලක් කරන කරන මොවුනගේ තවත් සුවිශේෂී ලක්ෂණ රැසක් හඳුනාගත හැක.  ඔවුන් හැමදාමත් විමසාගෙන එන්නේ අපේ නම, ගම හා පාසල ය. නමුත් අප ඊට පිළිතුරු දී පෙරළා "අයියගෙ නම මොකද්ද?" ඇසූ කළ ඔවුන් පිළිතුරු දෙන්නේ නැත. එපමණක් නොව තමා කොයි පළාතේ කෙනෙකු දැයි කියා වත් කීමට ඔවුන් නිර්භීත නොවේ. ඊට පෙරළා ලැබෙන පිළිතුර නම් "උඹලට ඒක වැඩක් නෑනෙ" යන්නයි. නමුත් අප එය අසන්නේ ඔවුන්ගේ ගෙදර යාමට නොවේ. හුදු දැන හඳුනාගැනීම පිණිස පමණි. නමුත් ඒ සැවොම තම අනන්‍යතාව හෙළි වේ යැයි මහා භීතියකින් පසු වන්නේ නවක වදය ආශ්‍රිත නීති වල පවත්වා බරපතළකම ඔවුන් ද දන්නා නිසා ය......
 
.......පාලම මතින් යන විට කුමන හෝ කුණුහරුපයක් කීම මොවුන්ගේ සතුටයි. තවද කෙල්ලෙක් දුටු විට "ආ නංගී, ෆෝන් නම්බර් එක දෙන්න බැරිද?" යනාදී දෑ කියමින්දුකාර ස්වභාවය මොවුන් මොනවට ප්‍රදර්ශනය කරති. ඉංජිනේරුවා වුවද දොස්තර වරයා වුවද රස්තියාදුකාරයා රස්තියාදුකාරයා ම බව කියන්නේ මේ හේතුව නිසා ය. ඒ කෙසේ වෙතත් අවසානයේ අප විසින් ඔවුනට දෙන්නේ රැග් එකක් බව එම ජ්‍යෙෂ්ඨයන්ට නොපෙනීම අනිවාර්යයෙන් ම ඔවුන්ගේ බුද්ධිමය හීනතාවයකි.  පිරිමි උතුමන් පැමිණ අපට කටින් ගැසීමට උත්සාහ කළ සෑම විටම අවසානයේ ඔවුන් ම බයිට් එක බවට පත්වූ බව වැටහීම නිසා දෝ මේ වන විට අලුත් අවියක් ඔවුන් කරළියට ගෙනැවිත් තිබේ. ඒ කාන්තා උතුමියන් ය! මේ කාන්තා උතුමියන්ගේ කර්තව්‍යය ඉතා සුවිශේෂී එකකි. ඔවුහු කිසිම විටෙක අපේ මුහුණට දෝෂාරෝපණය නොකරති. ඒ වෙනුවට රැග් නොවන කොල්ලෙකු විශ්ව විද්‍යාලය තුළ තනිවම ඇවිදිමින් සිටින විට ළඟට පැමිණ "මල්ලි ඔයා හරි හැන්ඩියානෙ, එන්නකො පොඩ්ඩක් ආශ්‍රය කරන්න" යනාදී ගණිකා කතා වටින් ගොඩින් කියති. මෙම අවිය මාරාන්තික අවියක් බව කිව යුතුය. මෙම ක්‍රියාවලිය පිටුපස ඇති අභිමතාර්ථය වන්නේ නවක වදයට එරෙහි සිසුන් මානසිකව වැට්ටීමයි. නමුත් මෙවන් අවර ගණයේ උපක්‍රම වලට අප ගොදුරු නොවන බව මම ඍජුවම ප්‍රකාශ කර සිටිමි..........
 
..........විශ්ව විද්‍යාලය ආරම්භ වී තවමත් ගතවී ඇත්තේ දින 9ක් තරම් සුළු කාලයක් වුවත් මේ ටික දිනට සිසුන් අත්විඳි මානසික වද වේදනාව අපමණ ය. උදේ 8ට දේශනයට ගිය විට 8.30 වන විට පන්තියෙන් බාගයක් පමණ සිසුන් මේසය මත නිදි ය. ඇතැම් විට සවස් කාලයේ මා ද මේසය මත නිදාගැනීමට කැමැත්තක් දැක්වුවත් ඒ, කරන කාර්යයේ ඒකාකාරී බව නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේ. නමුත් අනෙක් සිසුනට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඔවුනට රෑට නිදාගැනීමට ලැබෙන්නේ පැය 3 කටත් අඩු කාලයකි. සවස 4ට විශ්ව විද්‍යාලයේ කටයුතු අවසන් වූ පසු වාත වන සියලුම සිසුන් පෝලිම් ගසා ගොනුන් මෙන් අක්බාර් ශාලාවට දක්කාගෙන යනු ලැබේ.  එසේ ගෙන ගොස් මේසය වටා වාඩි කරවන ලද අවස්ථාවේ සිට රාත්‍රී 10.15, 10.30 දක්වා එක දිගට, පැය 6කට අධික කාලයක් ඉතා වෙහෙසකර වදයකට මුහුණදීමට ඔවුනට සිදුවේ. මානසිකව කොතරම් ශක්තිමත් අයෙකු වුවත් ඇද වැටීමට මේ කාලය ප්‍රමාණවත් ය. අනතුරුව තම තමන්ගේ කාමර වලට යාමට ඔවුනට අවස්ථාව හිමි වේ. නැවතත් ජ්‍යෙෂ්ඨ උතුමන් විකෘති ආශාවන්ගෙන් මත් වී නවක සිසුනගේ කාමර වලට පැමිණෙනේ රාත්‍රී 12ට පමණ ය. එතැන් සිට රාත්‍රී 1.30 හෝ 2.30 දක්වා තවත් වටයක වදයකට ශිෂ්‍යයෝ ලක් වෙති. එතැන් සිට උදේ 5.30 පමණ දක්වා පැය 3ක පමණ කෙටි නින්දක් ඔවුනට හිමි වේ.  
 
මේ කාලය තුළ සිදුවන ක්‍රියාවලිය දැනගැනීමට දැන් ඔබට රිසි වනු ඇත.  පළමුව රාත්‍රී 12 සිට අලුයම දක්වා සිදුවන ක්‍රියාවලිය ගනිමු. මෙම කාලය තුළ නවක ශිෂ්‍යයා ලක්වන අපයෝජනයේ තරම තීරණය වන්නේ අපයෝජක ජ්‍යෙෂ්ඨ උතුමාගේ මානසික විකෘතිතාවයේ ප්‍රමාණය අනුව ය. තවමත් ලිංගික අපයෝජනයක් සිදු වූ බවට මට අසන්නට නොලැබුණත් මෙවන් ආකාරයේ හිංසනයන් සුලබ වේ. මේ දිනවල නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුන් හට ෂේවිං ක්‍රීම් භාවිතා කර රැවුළ කැපීමත් සපත්තු පොලිෂ් ආලේප කිරීමත් තහනම් ය. නමුත් සෑම සිසුවෙකු ම ඒවා නේවාසිකාගාරයට එද්දී ගෙන ආ යුතු ය. ඒ වියරු ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ පහත් ආශාවන් ඉටුකරගැනීම පිණිස ය.  රාත්‍රී 12ට පමණ කාමරයට පැමිණෙන ජ්‍යෙෂ්ඨයෝ සිසුනගේ උඩුකය ඇඳුම් සියල්ල ගැලවීමට නියෝග කරති. අනතුරුව ගෙන එනු ලැබූ සපත්තු පොලිෂ් සහ ෂේවිං ක්‍රීම් අනා ශරීරයේ ආලේප කර එම ආකාරයට පැය කිහිපයක් සිටීමට සළස්වනු ලැබේ. අවසානයේ රාත්‍රී 1.30ට පමණ ස්නානය කර පැමිණ නිදාගන්නට ඉඩ ලැබේ. මේ, මේ දින වල රැග කන සිසුනගේ මුවින් ම පිට වූ කතාවකි. නමුත් ආරංචි ලැබෙන ආකාරයට ඇතැම් සිදුවීම් මීටත් වඩා බෙහෙවින් බරපතළ ය. තමාට නිරුවතින් බිම බඩගෑමට අණ ලැබුණු බව නවක වදය දරාගැනීමට අපහසු වී අල වූ එක් ජ්‍යෙෂ්ඨ සොයුරෙක් මට සැළ කළේ ය. මීට අමතරව බෝංචි කැඩීම ආදී අනේකවිධ හිංසන ක්‍රම මේ ජ්‍යෙෂ්ඨ උතුමන් භාවිතා කරන බව මා කලින් කියවූ බ්ලොග් සටහනක තිබිණි. සමස්තයෙන් ඉතා ස්වල්පයක් වන මෙම වියරු ජ්‍යෙෂ්ඨ උතුමන් පිරිස නවතම ආකාරයේ හිංසන ක්‍රම පිළිබඳ පර්යේෂණ කරන්නේ ද මෙම කාලය භාවිතා කරමිනි.  බොහෝ දෙනෙකු සිතන්නේ නවක වදයේ වඩාත් දරුණු පැතිකඩ මෙම ශාරීරික හිංසනය බවයි. නමුත් සත්‍යය එය නොවේ. වඩාත් බරපතල ගණයේ හිංසාව නම් හවස හතරේ සිට රාත්‍රී 10.30 දක්වා අක්බාර් ශාලාවේ සිසුන් බලෙන් රඳවා තබාගනිමින් කරන දැඩි මානසික අපයෝජනයයි. මේ දින 9 තුළදී අප වයසේ සිටින වාත වන ශිෂ්‍යයන් මුහුණදී ඇති බරපතල මානසික ව්‍යසනය දැකගැනීමට විශ්ව විද්‍යාල තුළ මඳක් වටපිට ඇවිදීම ප්‍රමාණවත් ය. පළමු වසර සිසුන් අත්විඳින භීතිය, කම්පනය හා අසරණභාවය ඔවුන් ඇවිදින, කතා කරන ආකාරයෙන් ම තේරුම් ගත හැකි ය. යමෙකු මෙය සිදු වන්නේ ඉතා සුලු පිරිසකට පමණක් බව කිව හැක. නමුත් සැබැවින් ම එසේ නැත. වාතයට ලක් වන සෑම ශිෂ්‍යයෙකුම, ශිෂ්‍යාවක්ම අඩු වැඩි වශයෙන් මෙම මානසික සංකූලතාවයට ගොදුරු වී ඇත.......
 
 
.........නවක වදය තුළ කෙරෙන තවත් ක්‍රියාවලි බොහෝමයකි. සෑම ශිෂ්‍යයෙකුට ම කුණුහරුප නම් දැමීම ඉන් එකකි. විශ්ව විද්‍යාලය තුළ ඔහුගේ නම වන්නේ එයයි. ඔහුගේ සැබෑ නම මෙතැන් සිට හැඳින්වෙන්නේ "කාඩ් එක" යන නමිනි. "මචං උඹේ නම මොකද්ද?" කියා වැරදීමකින් මෙන් ඇසුණොත් ලැබෙන්නේ මහා කුණුහරුපයක් නැතහොත් කුණුහරුපයක අකුරු මාරු කළ ආකාරයකි. මට මේ වැරැද්ද පසුගිය දින කිහිපය තුළ කිහිප වරක් ම සිදු විය.  හිතන්න, එය කොතරම් ප්‍රබල මානසික අපයෝජනයක් ද?  
 
මෙවර රැගට හසුවන සිසුන් ගණන 261කි. ඔවුන් සෑම කෙනෙකුට ම අනෙකුත් 260 දෙනාගේම නම, කාඩ් එක, පුරය ආදී සෑම කරුණක් ම කටපාඩමේ තබාගත යුතු ය. එබැවින් වාත කන බොහෝ සිසුන් මේ දින වල දේශන ශාලාව තුළදී දේශකයා නොමැති විට කරන්නේ තමා වටා සිටිනා සිසුන්ගේ විස්තර කට පාඩම් කිරීම ය. වරක් එක් ජ්‍යෙෂ්ඨ උතුමෙකු මට මෙවන් ප්‍රශ්නයක් යොමු කළේ ය. "තමුසෙලා අඩු ගානෙ තමුසෙලගෙ සෙට් එකේ වත් උන්ගෙ නම් ටික දන්නවද?" මගේ පිළිතුර වූයේ "මට කාගෙවත් නම් ගම් ලියාගෙන කටපාඩම් කරන්න අවශ්‍යතාවක් නෑ. කාලයක් යද්දි ඒව ඉබේටම මතක හිටියි". සැබැවින්ම මට කාගේවත් විස්තර බලෙන් කටපාඩමේ තබාගැනීම අපහසු ය. නමුත් මේ අඳබාල ජ්‍යෙෂ්ඨ උතුමෝ නවකයන්ට තම සොයුරන්ගේ විස්තර ලියාගෙන බලෙන් කට පාඩක් කිරීමට සළස්වති. අහඹු ලෙස සිසුවෙකු තෝරාගෙන ඔහුගේ නම, ගම, කාඩ් එක, පුරය ඇසූ විට කියාගත නොහැකි වුවහොත් පැයක පමණ කුණුහරුප වර්ෂාවකට ලක් වීමට සිදුවේ. මට මේ සම්බන්ධයෙන් ත්තේ එක් ප්‍රශ්නයකි. ඔබට ඔබ වටා සිටින සියලුදෙනාගේ නම් අපහසුවෙන් කටපාඩම් කරගත හැකි විය හැක. නමුත් ඔබට ඒ සියලුදෙනාගේ සිතුම් පැතුම් දැනගැනීමට හැකි වේද?  මෙහි පවත්නා වඩාත්ම හාස්‍යජනය පැතිකඩ නම් අපයෝජනයට ලක්වන සිසුවාගේ බැච් එකේ සිටින සොයුරන්ගේ නම් කටපාඩම් කරගැනීමට දී ජ්‍යෙෂ්ඨ උතුමන් පමණක් තම නම් ගම් සියල්ල සඟවාගෙන සිටීම ය. "අරූගෙ නම මොකද්ද? මූගෙ කාඩ් එක මොකද්ද?" යනුවෙන් ප්‍රශ්න අසමින් එන ජ්‍යෙෂ්ඨයෙකුගෙන් වැරදීමකින් වත් "අයියගෙ නම මොකද්ද?" කියා ඇසුණහොත් එම නවකයාගේ දවස ඉතා අසහනකාරී එකක් වනු ඇත.....
 
.......මම ලිපිය ආරම්භයේදී සඳහන් කළ කරුණ දැන් නැවතත් මතක් කිරීම උචිත යැයි සිතමි. කෙනෙකු විශ්ව විද්‍යාලයකට පැමිණෙන්නේ මෙවන් මෝඩ ජෝක් දැමීමට නොවේ. කම්කරුවා, ගොවියාගේ සිට ඉහළම තානාන්තරය හොබවන පුද්ගලයා දක්වා වන රටේ සියලුම මහජනතාවගේ මුදලින් ඉගෙනගන්නා විශ්ව විද්‍යාල සිසුනට තම අධ්‍යාපනයේ වියදම දරන ඒ සියලු දෙනාට සාධාරණයක් ඉෂ්ට කිරීමට යුතුකමක් හා වගකීමක් ඇත. නමුත් තමන් දැන් කරන්නේ එයද නැද්ද යන වග වාත කරන සහ වාත වන සියලුම ශිෂ්‍යයන් නැවතත් සිතා බැලීම වටී.  (  චමිතගේ සිහින කොදෙව්ව :.  සරසවිය, මම සහ අපි  http://ift.tt/2uZdAME)
 

කැළණි ගඟ හරහා නව පාලමක් [Video]


කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු  සිදු කෙරෙමින් පවතින බවත්  2017 වසරේ ඔක්තෝබර් මස ඉදිකිරීම් අරම්භ කිරීමට නියමිත බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.



ප්‍රධාන මාර්ග ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතකරගැනීම සඳහා විවාදයට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, කොළඹ පිටත වටරවුම් මාර්ගය ව්‍යාපෘතිය, තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය පළමුවන අදියර, ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන, තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය දෙවන අදියර, නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙම මුදල් යෙදවෙන  බව අමාත්‍යවරයා පැවසී ය.

සමස්තයක් ලෙස රුපියල් බිලියන 53ක මුදලක් අතිරේක ප්‍රතිපාදන ලෙස ඉල්ලුම් කරනු ලබයි. දක්ෂිණ අධිවේගී මාර්ගය ගොඩගම සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට අදාළ ඉදිකිරීම් සීඝ්‍රයෙන්  සිදු කෙරෙමින් පවතිනවා. ඉදිකිරීම් කොටස් හතරක් යටතේ සිදු කෙරෙනවා. රුපියල් මිලියන 265,374ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම අධිවේගී මාර්ගය 2019 වසර අවසානයේ දී මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.

පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස කඩවත සිට කෙළවර පිටිය දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. ඉදිකිරීම් මේ වනවිට සියයට 27%ක් අවසන් කර තිබෙනවා.තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය  සියයට 63%කින් අවසන් කර තිබෙනවා.මෙම ව්‍යාපෘතිය වසර 2018 දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ මාර්ග ව්‍යාපෘතිය යටතේ පළාත් බද හා ග්‍රාමීය මාර්ග කිලෝමීටර 130ක් ද ජාතික මාර්ග කිලෝමීටර 400ක් ප්‍රතිසංස්කරණය කරනවා.

නව කැලණි පාලනම හරහා වසර 2020 මාර්තු මස අවසන් වනවිට දැනට කැලණි පාළමේ ඇති වාහන තදබදය අවම කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

විජේදාස කීවේ ඇත්ත. අධිකරණය ස්වාධීනයි. ඒ නිසාම විජේදාස අනවශ්‍යයි.

විජේදාස කීවේ ඇත්ත. අධිකරණය ස්වාධීනයි. ඒ නිසාම විජේදාස අනවශ්‍යයි.

එසේ වුවද පසුගිය දින කිහිපයේදී විජේදාස රාජපක්ෂ වෙනුවෙන් ත්‍රෛ නිකායික අනුනායක හිමිවරුන් සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සමඟ ඒකාබද්ධ විපක්ෂය ම පෙනී සිටිනු දක්නට ලැබිණි. විජේදාස ද මෙය ලෙහෙසියෙන් අත් හැරිය යුතු නැත. සමහරුන් තමන්ව අත් අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණ නියෝග ලබා ගන්නවාක් මෙන් විජේදාසට ද ඇත්තේ තමන්ව අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ටාධිකරණය හමුවට යාමය. 

මෙහිදී පෙනී යන තවත් කරුණු කිහිපයක් ද තිබේ. විජේදාස රාජපක්ෂම පසුගිය දා අස්ගිරි මහනායක හිමියන් හමුවේ පවසා තිබුණු පරිදි අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගැසීමට කිසිවකුට නොහැකිය. නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ස්වාධීනවය. එය කෙතරම් ස්වාධීන ද යත් ඊට ගෝටාබය රාජපක්ෂගේ අත්සනක් සහතික කරගැනීමට දෙවසරකුත් ගතවී තවමත් බැරි වී තිබේ. වෙනත් රාජ්‍ය ආයතනයක මෙතරම් අකාර්යක්ෂම පරිදි කටයුතු වන්නේ නම් ඊට එරෙහිව පරිපාලන අංශයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙයි. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව රටේ පරිපාලන සේවයට යටත් නැත, එය ස්වාධීනය. අධිකරණයේද නඩු කැඳවීම්, කල් දැමීම් සිදුවන්නේ විනිසුරුවරුන්ට ඕනෑ හැටියට බව විජේදාස කියා තිබිණි. එහෙයින් අධිකරණය ද ස්වාධීනය. අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙතරම් ස්වාධීනව කටයුතු කරද්දී එතැනට තවත් විජේදාස කෙනෙක් කුමකටද ? තමන් කිසිම බලපෑමක් නොකරන බව ද විජේදාස කියයි. බලපෑම් කෙරෙන්නේත් නැතිනම්, බලපෑම් අවශ්‍යත් නැති නම් විජේදාස යනු අමතර කොටසකි. ජනපතිවරයාට ද ඇත්තේ වැඩකට නැති විජේදාසව ගෙදර යැවීමය. නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් බොහෝ බැණුම් අසන ආණ්ඩුවට විජේදාසගේ වියදම් කපා හැරීම යම් සහනයක් ගෙනෙනු ඇත. 

එසේම පොලිසිය ගැන ද පසුගිය දිනවල මහත් කතාබහක් තිබිණි. කතා කරන්නට දෙයක් නැත. පොලිස් දෙපාර්තමේන්තුව උපරිමයෙන් ම ස්වාධීනය. වෙනත් ආයතනයක ප්‍රධානියෙක් තම සුළු සේවකයකුට පහර දී තවත් කාන්තාවකට දුෂණය කරන බවට තරජනය කර, වීඩියෝ සාක්ෂිත් සමඟ හසු වී නම් මේවන විට සිටිය යුත්තේ සිර කූඩුවකය. එහෙත් පොලිස්පති පූජිතට එසේ වන්නේ නැත. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා පොලිසිය ස්වාධීනය. ඊට ඇත්තේ වෙනම නීති වන අතර පහරදීම, තර්ජනය කිරීම, ගොඩනැඟිල්ලකින් බිමට තල්ලු කර මරා දැමීම හෝ ආයුධ පෙන්වීමට කැඳවාගෙන ගොස් මරා දැමීම පොලිසියට අනුව වරදක් වන්නේ නැත. එය එතරම්ම ස්වාධීනය. 

අනෙත් අතට මහානායක හිමිවරුන්. එතුමන්ලා පූජනීය අන්දමින් ම ස්වාධීනය. දළදා මාළිගාව ඉදිරියෙන් ඇති මාර්ගය වසා දැමීම හේතුවෙන් මහනුවර පාසැල් දරුවන්ට ශ්වසන රෝග වැළඳෙමින් තිබියදීත් මාර්ගය විවෘත කරන්නට මහානායක හිමිවරුන් ඉඩ දෙන්නේ නැත. තමන්ට අයිති නැති ප්‍රධාන මාර්ගයක් වෙනත් අයෙකු වසාගෙන, විවෘත කිරීමට නොදී සිටිනවා නම් ඔහුට යන්නට වෙන්නේ නීතිය හමුවටය. එහෙත් මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ම ස්වාධීනය. රටේ නීතිය මේ දෙපාර්ශ්වයට සහ ඔවුන්ගේ මහා ධනස්කන්ධයට අදාල නැත. 

මේ තරම් ස්වාධීන රටේ ඒකාබද්ධ විපක්ෂයට පමණක් කණගාටුදායක ලෙස ස්වාධීනත්වය අහිමි වී ඇත. තමුන්ගේ නොවන පියෙකුට 'අප්පච්චී' කීමටත් තමන්ගේ නොවන මවකට 'අම්මා' කීමටත් ඔවුන් පසුගිය කාලයක් පුරාවට ගෑ තරමක් දැළි මතින් සුදු හුණු ගෑමටත් ඒකාබද්ධයට සිදුව ඇත. ඒකාබද්ධයේ අයටත් ස්වාධීනත්වය අවශ්‍ය නම් රාජපක්ෂ පවුල කෙරෙහි ඔවුන්ගේ ඇති පරාධීනත්වය ඉවත් කර ගත යුතුය. අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් පන්නා දැමීමට ඔන්න මෙන්න සිටින විජේදාස රාජපක්ෂ ඊට පිටුවහලක් කරගැනීමට ඔවුන්ට වුවමනා නම් හැකිය. අනෙත් අතට මහින්ද රාජපක්ෂ නම් කොහෙත්ම ස්වාධීන නැත. ඔහුට වුවමනා වී ඇත්තේ විජේදාසව ඒකාබද්ධ විපක්ෂය පැත්ත පළාතේ වද්දා නොගන්නටය, විජේදාස අධිකරණ ඇමති පුටුවෙහිම තියා අත්සන් වලට සහතික වන්නට තවත් අවුරුදු දෙකහමාරක්වත් ලබා දෙන්නටය.

~ හෙලිකොප්ටර් මල්ලි 

සාර්ක් කළාපීය රටවල් ක්ෂය රෝග මර්දනයට ප්‍රමුඛත්වය ගන්නවා - රාජිත

සාර්ක් කළාපීය රටවල් ක්ෂය රෝග මර්දනයට ප්‍රමුඛත්වය ගන්නවා - රාජිත

 

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2015 වසරේදී පමණක් ලොවපුරා ක්ෂය රෝගීන් මිලියනයක් පමණ හඳුනාගෙන ඇති බවයි. ලොවපුරා වැඩිම මරණ සිදුවන රෝග 10 න් එකක් ලෙස ක්ෂය රෝගය හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් දරුවන් මෙම රෝගයට ගොදුරුවීම විශාල ගැටලුවක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. වසරකට දරුවන් 140,000 ක් පමණ ක්ෂය රෝගයෙන් මියයන බැවින් ඒ සඳහා කලාපීය රටවල් එක්වී කටයුතු කිරීම වැදගත් වන බවයි ඔහු පවසන්නේ.

සමුළුවේදී තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා,

'ක්ෂය රෝගය තුරන් කිරිමට සාර්ක් කළාපයේ විශේෂ අවධානය යොමු විය යුතුයි. දරුවන්ගේ ක්ෂය රෝගය හදුනා ගැනීම, ප්‍රතිකාර සහ සැළසුම් සහගත කළමණාකරණයට අදාලව පුහුණූ වැඩසටහන් දියත් කළ යුතු වනවා. ක්ෂය රෝගය මනුෂ්‍ය වර්ගයාට මුල් කාලීනව පටන් වැළදුන රෝගයක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ පිළිබද චීන සහ ඊජිප්තු අතීත වෛද්‍ය වාර්තාවල පවා කරුණු සදහන් වනවා. ලොව පුරා ජනතාවගේ සෞඛ්‍යයට සහ සංවර්ධනයට ක්ෂය රෝගය දැඩි බලපෑමක් එල්ල කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව දරුවන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ක්ෂය රෝගීන් වෙනවා.'

'සෑම වසරකදීම ක්ෂය රෝගයෙන් ලොව පුරා දරුවන් එක්ලක්ෂ 40,000 ක් පමණ ජිවිතක්ෂයට පත් වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ළමා අනාථ ක‍දවුරුවල මරණ වලට ප්‍රධාන හේතුව වන්නේ ද ක්ෂය රෝගයයි. සාර්ක් කළාපය තුල ද ක්ෂය රෝගීන් බහුලව වාර්තා වනවා. එම නිසා කළාපය තුල ක්ෂය රෝගය පාලනයට විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයයි. ශ්‍රී ලංකාවේ ද 2015 වසරේ දී ක්ෂය රෝගීන් 130,000 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා. නමුත් එම වසර තුල හදුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 9975 ක්. 2016 වසරේ වාර්තාවලට අනුව හදුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 8886 ක්. එම නිසා ක්ෂය රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට සාර්ක් කළාපීය රටවල් දැඩි අවධානය යොමු කළ යුතුයි.'

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ක්ෂය රෝග පිළිබද ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය ඇතුලු වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.