එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළේ යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියයට අදාළව පාර්ලි...
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළේ යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියයට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පියවර ගත හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධව පොලිසිය විසින් සිදුකර ඇති විමර්ශනවලට අදාළව ගත යුතු නීතිමය පියවර පිළිබඳ පරීක්‍ෂා කළ බවද නීතිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කරමින් යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්‌වීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැඟිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධව විවිධ පුද්ගලයන් සහ සංවිධාන පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පොලිස් කණ්‌ඩායමේ වාර්තාව පසුගියදා පොලිස්‌පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාද ප්‍රමුඛ කණ්‌ඩායමක් පත්කළ අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා මෙම කණ්‌ඩායම විසින් අධ්‍යයනය කර ඇත.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනයෙන් අනතුරුව මන්ත්‍රීවරිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමති ධූරයෙන්ද ඉල්ලා අස් විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ආධාර අනුබල දීම අනුග්‍රහය දැක්‌වීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට සෑම මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙන අතර එය උල්ලංඝණය කළොත් එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන අතර වසර හතක් නොඉක්‌මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිවාසිකම්ද නොලැබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු වන ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා සඳහන් කළේ ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා නොදෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දී ඇති දිවුරුමක් උල්ලංඝනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපරාධ නීතිය යටතේ හැකියාව පවතින බව පෙන්වා දුන්නේය.
"එවැනි චෝදනාවකට ලක් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වරදකරු වුවහොත් ඔහුට හෝ ඇයට වසර හතක් දක්වා සිරදඬුවම් නියම කිරීමටත් ප්‍රජා අයිතිය අහෝසි කිරීමටත් නීති ප්‍රතිපාදන පවතිනවා," යනුවෙන් ද ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පැවසී ය.
කිසිවෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැතත්, අධිකරණය මගින් වරදකරු වී මාස 6 ක වඩා වැඩි සිරදඬුවම් නියම වන අවස්ථාවක ඔහුගේ හෝ ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වනු ඇති බව ද ඔහු පැවසීය.
COMMENTS