පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන එක ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා පවසයි. ඒ නිට්ටඹුව ප‍්...
පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන එක ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා පවසයි.
ඒ නිට්ටඹුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී ආණ්ඩුකාරවරයා මෙසේ අදහස් දැක්වීය.
“අපේ රටේ තියෙනවා මැතිවරණ ගණනාවක්. පළාත් පාලන මැතිවරණය තියෙනවා. පළාත් සභා මැතිවරණය තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. ජනාධිපතිවරණය තිබෙනවා. මේ පාර මැතිවරණය මීට පෙර තිබූ ක‍්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් මැතිවරණයක්. මේ මැතිවරණයේ විශේෂත්වය තමයි යහපත් චරිතයක් ඇති අවංකව වැඩ කිරීමට පුලූවන් දක්ෂ නායකයෙකු තෝරා ගැනීම. මේ මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් වෙන්නේ නෑ. මේ මැතිවරණයෙන් ජනාධිපති වෙනස් වෙන්නේ නෑ. මේ මැතිවරණයෙන් ජාතික ප‍්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන්න යනවා නම් ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ගලෙන් පට්ට ගන්නවා වගේ වැඩක්. ජේ.ආර් ජයවර්ධන මහතා ඇති කරපු මැතිවරණ ක‍්‍රමය නිසා රටක් ජාතියක් ජන්මයක් අදුනන්නේ නැති කොහෙන්ද පහත් වෙච්ච මිනිස්සු අපේ ආසනයට ඇවිල්ලා, ඒ දිස්ත‍්‍රික්කයේ ඔක්කොම මනාප ඡන්ද ටික එකතු කරලා මන්ත‍්‍රිවරයො වෙනවා.”
“එයා මන්ත‍්‍රීවරයා වෙන්න පාවිච්චි කරනවා ඔහු සතු ධන බලය, සල්ලි වල බලය, අරක්කු වල බලය, පාතාලේ බලය, ආයුධ බලය, චණ්ඩි බලය පාවිච්චි කරල තමයි පාර්ලිමේන්තුවට පච්චකාරයෝ, හොරු තක්කඩි ගියේ. ඡන්දය පාවිච්චි කිරීමේදී හරියට කතිරය පාවිච්චි කරේ නැත්නම් අවුරුදු හතරක් තමුන්ට දුක් විඳින්න වෙනවා. හොඳට හිතලා බලලා නියෝජිතයා තෝරා ගන්න. පහුගිය කාලය පුරාවටම හොරුන්ට කිසිම ආණ්ඩුවකින් දඩුවම් දුන්නේ නෑ. මේ හොරුන්ට දඩුවම් දීපු එකම එක ආණ්ඩුවක් තිබුනා. ඒ තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක පුරෝගාමී නායකයා එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා හදපු ආණ්ඩුව. එතුමා දැම්මා කොමිසමක් වෝල්ටර් තයිගොඩපිටිය කියලා කොමිසමක්. ඒ කොමිසම දාලා වැරදි කරපු ඇමතිවරු පස්දෙනෙකුව ගෙදර ඇරියා. තමන්ගේ පක්ෂයේ තමන්ගේ ආණ්ඩුවේ හොරකම් කරපු ඇමතිවරු 5දෙනෙක් ගෙදර යවපු එකම එක්කෙනා තමයි බණ්ඩාරනායක මහත්තයා. එදා මෙදාතුර බලයට ආපු කිසිම ආණ්ඩුවක් හොරුන්ට දඩුවම් කලේ නෑ. තොරණේ බල්බ් පත්තු වෙනවානේ. ඉස්සරහට ගිහින් බලපුවාම බල්බ් වෙන වෙනම තියෙන්නේ. හැබැයි පිටිපස්සට ගිහිං බලපුවාම ඒ බල්බ්වල වයර් එකට හොඳට බැඳිල සමඟියෙන් ඉන්නෙ. ඒ වගේ තමයි මේ රටේ හොරකමත්. පාට, පක්ෂ එකතු වෙලා හැමදාම හොරකම රජ කෙරුවා. හොරකමට දඩුවම් දෙන්න ඕන. අම්මා, තාත්තා, දුව, පුතා කවුරු උනත් මහජන දේපළ කොල්ලකන අයට නිසි දඩුවම් දෙන්න ඕන ඒ තීරණයේම අපේ ජනාධිපතිතුමා සිටීම අපේ වාසනාවන්ත යුගයක්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS