ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා තවමත් විවෘත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු...
ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා තවමත් විවෘත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට සම්බන්ධ කිසිදු පාර්ශවයක් සමඟ සන්ධානගත නොවී ඉදිරි පළාත් පාලන මැතිවරණයට නෙලුම් පොහොට්ටුව ලකුණින් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කිරීමට පෙරේදා (06) රාත්‍රියේ තීරණය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පෙරේදා පස්වරුවේදී සාකච්ජා කර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලැබීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා එහිදී මෙසේ අදහස් දැක්විය.
“ඒකාබද්ධ විපක්ෂය එකතු වෙන්නේ නැහැ කියලා. ඒක තමයි අවසාන වශයෙන් සියලුම මන්ත්‍රීවරුන් ගත්ත තීන්දුව. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලුම පක්ෂ අපිත් එක්ක කටයුතු කරනවා. ඒකෙ කිසි ගැටළුවක් නැහැ. අපේ සමගියට කිසි බාධාවක් නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ ඉන්න තාක් කල් අපි ඒ කිසිම කණ්ඩායමක් එක්ක එකතු වෙලා මැතිවරණයකට ඉදිරිපත් වෙන්න සූදානමක් නැහැ කියලා තීන්දුවක් ගත්තා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා එහිදී මෙසේ අදහස් දැක්විය.
“ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එකතු වුණා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කළා. අපි ඉදිරියේ මැතිවරණයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ටික ගත්තා. කොන්දේසිවලට යටත්ව ඕනෑම කණ්ඩායමක් සමඟ කටයුතු කරන්න සූදානම්. හැබැයි අපේ කොන්දේසිය තමයි යූ.එන්.පී විරෝධී කඳවුරක් ගොඩ නැගීම. යූ.එන්.පී එක්ක එකතු වෙන්නෙත් නැහැ යූ.එන්.පී එකත් එක්ක ඉන්න අයත් එක්ක එකතු වෙන්නෙත් නැහැ.”
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා එහිදී මෙසේ අදහස් දැක්විය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරපු යෝජනා ගැන කතා වුණා. මෙතැනදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුදෙනා ඒකමතිකව තීරණය කළේ අපි මුල්ම යෝජනාවක් ඉදිරිපත් කළා, සාකච්ඡා කරනවා නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ කියන කාරණාව. එහෙම ඉවත් වෙන්නේ නැතුව සාකච්ඡා කිරීම ප්‍රතිපල රහිත නිසා අපිට එහෙම සාකච්ඡා දිගට ගෙනියන්න බැහැ. හැබැයි තාමත් වීවෘතයි. ආණ්ඩුවෙන් ඉවත් වෙලා එනවා නම් කියන කාරණයට හැමෝම එකඟ වුණා. ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කර ගත්ත බලවේගයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ. මේ වෙනකොට නාමයෝජනා ලබා දෙමින් යනවා. මේ මැතිවරණයේදී බහුතර බලය පොහොට්ටුව ජයග්‍රහනය කරනවා. ඒක අනිවාර්යයි. ඒ නිසා තමයි මේ ජයග්‍රහණයට බය හින්දා තමයි මේ ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උපරිම උත්සහයක් කරේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එහිදී මෙසේ අදහස් දැක්විය.
“අපි තරඟ කරනවා. ආණ්ඩුවට විරුද්ධව සටන් කරනවා. අපි ආණ්ඩුවට විරුද්ධව පෙරලන්න ගන්න තියෙන ඕනෑම කටයුත්තකට අපි සූදානම්”
COMMENTS