පුංචි සිබිල්ව පැටි වියේම වර නැඟුණේ 'චිත්‍ර අඳින්න දක්ෂ ළමයා' යන උදෘතයෙනි. බම්බලපිටියේ ශුද්ධ වූ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන කාලයේ පට...
පුංචි සිබිල්ව පැටි වියේම වර නැඟුණේ 'චිත්‍ර අඳින්න දක්ෂ ළමයා' යන උදෘතයෙනි. බම්බලපිටියේ ශුද්ධ වූ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන කාලයේ පටන් ඇගේ ඇස සොය, සොයා ලුහු බැන්දේ සිතුවම්ය. ලැජ්ජාශීලී මේ කෙලිත්ත පාඩම් පොත්වල චිත්‍ර අඳිමින් කාලය ගත කරන්නට වූයෙන් ගුරුවරුන්ගෙන් ඇනුම්, බැණුම් ද ලැබූයේය. පළමුව තමන්ගේම පාසල් මිතුරියන්ද, දෙවැනුව ගුරුවරුන්වද කාටුන් කිරීමෙනි. මේ කාටුන් ඇඳ ඒවා නරඹමින්, අනෙක් අයටද පෙන්වමින් ඈ ස්වල්ප විනෝදයකින් පසු විය. පාඩම් වැඩ අතරමැද පහත් හඬින් නැඟුණු 'කිචිබිචි' ශබ්දවලට මූල බීජය සැපයූයේ ඇගේ කාටුන්ය. ඒ 'කිචිබිචි' නිසාම අයිලීන් දිසානායක ගුරුවරිය ඈට අපූරු වැඩක් කරන්නට නියම කළේය. ඒ, ලොකින්වාර් නම් ප්‍රකට ඉංග්‍රීසි කවියේ අවස්ථා විදහා දක්වමින් චිත්‍ර පෙළක් නිමවන්නටය. ලැජ්ජාශීලී සිබිල් පුරුදු කිචිබිචියෙන්ම සිතුවම් පෙළ ඇඳ දුන්නීය. පසුව ඒවා බිතු සිතුවමක් ලෙස පන්ති කාමරයේ දිගට ප්‍රදර්ශනය කළේය. 'චිත්‍ර අඳින්න දක්ෂ ළමයා' උදෘතයත් සමඟ ඈ ඇවිදින්න පටන් ගන්නේ ඉනික්බිතිවය.
සව්දෝරිස් ද සිල්වා ට සහ ජොස්ලින් ද සිල්වාට දාව 1928 ඔක්තෝබර් 31 වැනිදාවක උපන් සිබිල් ට සොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරන් දෙදෙනෙක් විය. ඈ පවුලේ තෙවැන්නීය. තෙවැන්නී පළමුව ගිංතොට විද්‍යාලයෙන් අධ්‍යාපන ලද අතර පෙර කී ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළු වූයේ ගමෙන් නගරයට සංක්‍රමණය වීම හේතුවෙනි. මේ චිත්‍ර ඇඳීමේ උන්මාදය දිගින්, දිගටම සිබිල්ව වසාගෙන පැවතුණි. ඈ කුමණාකාර වෘත්තියක් වෙත යොමු කරන්නට තැත් කළද දෛවෝපගත ලෙස නැවතත් පැමිණියේ චිත්‍ර ඇඳීමටමය. අම්මාගේ වුවමණාවට ගෘහ නිර්මාණ ශිල්පය ඉගැනීමට පිටත් කර හැරියද චුම්භක ක්ෂේත්‍රකට ඇදෙන්නාක් මෙන් ඈ ඇදී ගියේ චිත්‍ර කලාවටමය. එහෙත් සිබිල්ගේ තාත්තාට සිබිල් ගැන ඉසියුම් ඉවක් තිබුණාක් මෙන් විය. හෙතෙම සිබිල් ඇඳි චිත්‍රයක් ලංකා කලා සංගමයේ ප්‍රදර්ශනයකට යොමු කළේය. එය ප්‍රදර්ශනය සඳහා තෝරා ගෙන තිබුණි. මේ ඇගේ චිත්‍ර ජීවිතයේ බලාපොරොත්තු ඇති කළ එක් හැරවුම් ලක්ෂයකි. ප්‍රදර්ශනය නැරැඹීමට සපැමිණි රාජකීය ප්‍රාථමික විදුහලේ විදුහල්පතිතුමා මේ චිත්‍ර ගැන අපමණ පැහැදී නවමඟ අතිරේක කියැවීම් පොත් පෙළට චිත්‍ර ඇඳීමට ඈ යොමු කළේය. අවුරුදු 18 දී පෙළ පොතකට සිතුවම් ඇඳි යොවුන් කෙල්ලක වූ සිබිල්ගේ ස්වකීය වෘත්තිය කුමක්දැයි අනියමින් තීරණය වූයේ එදිනය.
ක්‍රමාණුකූලව චිත්‍ර ශිල්පය පිළිබඳ නිසි අධ්‍යාපනයක් නොලබා වුවද ඈ එදා ඇඳි සිතුවම්වල තිබූ නිර්මාණශීලීත්වයත්, නැවුම් බවත් යුග කිහිපයක් පුරා සංවාදයට භාජනය විය. ඇගේ චිත්‍ර තුළ අන්තර්ගත වක්‍ර රේඛා සහ මටසිළිටි මුහුණු ආදිය මේ නැවුම් හැඟීම ජනිත කරවීමට සමත් විය. ළමයින් වෙනුවෙන් ළමයෙකු චිත්‍ර ඇඳීමේ අපූරු සම්ප්‍රදාය ජනගත වූයේ මේ අපූරු සිතුවම් සමඟය.
මීට පෙර ළමයින් වෙනුවෙන් චිත්‍ර ඇඳි ළමුන් සිටියද මෙතරම් ජීවී ගුණ සහිතව ඒ කර්තව්‍ය නිම කළ අයකු නොසිටි බව මගේ පෞද්ගලික මතයයි.
පසුකාලීනවද තවත් අතිරේක කියවීම් පොත් කිහිපයකම චිත්‍ර ඇඳීමේ අවස්ථාව සිබිල්ට ලැබුණු අතර ඒ ඇඳි චිත්‍ර සියල්ලම ඉතාම විශේෂ ඒවා විය. මේ පෙළ පොත් අතර 'ඉංග්ලිෂ් විත් අ ස්මයිල්' සහ සදහම් මඟ කෘති ද්විත්වයද විශේෂ කොට සිබිල් වෙත්තසිංහයන් සිහිපත් කරයි.
සිබිල්ව ගෘහ නිර්මාණ ශිල්පිණියක කරවීමේ අම්මාගේ සිහිනය කෑලි වශයෙන් කුඩු කරමින් ඈ ස්වකීය ඉගැනුම් වාරයේ බලා සිටියේ 'ඩොනා පෙට්‍රෝනි' නම් ඉතාලි ජාතික කාන්තාව චිත්‍ර අඳින ආකාරයයි. ඕ ද මද සිනා පාමින් යොවුන් වියේ කෙල්ලක වූ සිබිල්ට තම සිතුවම් නැරැඹීමට ඉඩ ලබා දුනි. සිබිල්ගේ හිතේ නොනැවතී මල් වෙඩි පත්තු වෙන්නට පටන් ගත්තේ මෙන්න මේ කාලයේදීය. දැන් ඉතින් මොනවා කරවත් චිත්‍ර ශිල්පයට බැඳුණු හිත වෙනතක යොමු කිරීමට නොහැකියෙන් ඈ කළේ චිත්‍ර අඳින කොළ සහ විවිධ සායම් ගෙදර ගෙන ඒමය. ඉන්පසු නොනැවතී චිත්‍ර ඇඳීමය. මේ නොනැවතී චිත්‍ර ඇඳීමේ කෙළවර ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පිණියක ලෙස රැකියාව ඇරැඹීමය. ඉන් පසුව ටයිම්ස් පුවත්පතේ ද චිත්‍ර අඳින්න පටන් ගති. මේ පුවත්පත් ජීවිතය වඩාත් වර්ණවත් වූයේ සිබිල් 1952 දී ලේක්හවුසියේ සේවයට පැමිණීමත් සමඟය. ජනතා පත්‍රයට චිත්‍ර ඇඳීමෙන් ළමා චිත්‍ර කලාව පිළිබඳ වෙනම සංවාදයක් සහ යුගයක් නිමවන්නට ද ඈ සමත් විය. ප්‍රකට 'කුඩ හොරා' කතාන්දරයද ලේක්හවුසියේ සිටි කාලයේ ඉතාම අහම්බයකින් නිම වූවක් වීමද විශේෂත්වයකි. පළමුව කළු සුදුවෙන් නිමැවුණු 'කුඩ හොරා'ට ඈ පාට ගෑවේ ඉන් පසුවය. දැන් 'කුඩ හොරා'ට වයස අවුරුදු 65කි. සිබිල් වෙත්තසිංහයන්ට 90කි. ඇගේ 90 වැනි ජන්මෝත්සවය නිමිති කරගෙන ඔක්තෝබර් 31 වැනිදා සවස 4.30 ට ලයනල් වෙන්ඩ්ට් හිදී සිතුවම් දැක්මකි. එහි දිගුවක් නොවැම්බර් 1 සහ 2 දෙදින පුරා පැවැත්වේ. එදිනට එළි දකින 'පුදුම රිදී ගස' සහ 'සිද්ධාර්ථ කුමාරයා'හි චිත්‍ර සිබිල් මුද්‍රාව ගැඹුරින් තබන්නකි.
සිබිල් වෙත්තසිංහයන්ගේ ළමා කෘති භාෂා ගණනාවකටම පරිවර්තනය කර ඇත. ඒ අතර ජපන්, කොරියානු, චීන, ස්වීඩන් භාෂා විශේෂය. සිබිල් ලියා චිත්‍ර ඇඳි පොත් ප්‍රමාණය 250කි. අන්‍යයන්ගේ පොත් සඳහා ඈ ඇඳි සිතුවම් ගණනද විශාලය. එමෙන්ම 'අපූරු රිදී ගස' ජපානයේ ප්‍රකාශයට පත් වන ඇගේ නවතම ළමා කෘතියයි. එය නුදුරු දිනෙකම ලංකාවේදී එළි දැක්වීමට නියමිතය.
වෙසක් පහන, දුවන රැවුළ, සූත්තර පුංචා, මඟුල් ගෙදර බත් නැතෝ, අහසින් ගිය ඇත් රාජයා, මැටි ගෙදර ළමයි, පුළුන් බබා, පුංචි කාලෙ, සුමිතුරු නුග රුක ආදී කෘති ඇගේ අමුතු ළමා කතා පිළිබඳ හොඳම උදාහරණ ලෙස හුවා දැක්විය හැකිය. පසුකාලීනව මේ චිත්‍ර ආර කිහිප දෙනෙකු විසින් අනුකරණය කිරීමට තැත් කළද සිබිල් වන් සිතුවම් නැවත කිසිවකුට උත්පාදනය කළ නොහී විය. එහෙයින්ම ඈ ලැබූ සම්මාන ද බොහෝය.
2005 දී කලා කීර්ති සම්මානයෙන් ද, රාජ්‍ය සාහිත්‍ය සම්මානය ළමා පොත් 08ක් වෙනුවෙන්ද, 'ද චයිල්ඩ් ඉන් මී' වෙනුවෙන් 1995 දී ග්‍රේෂන් සාහිත්‍ය සම්මානයත් ඈට හිමි විය. 2007 දී සෝලියස් මෙන්දිස් සම්මානයෙන්ද ඈ සම්මානයට පාත්‍ර විය.
1965 දී එංගලන්තයේ කාන්තා කවුන්සලය විසින් පිරිනැමූ ඉසබෙල් හට්න් සම්මානය 'වෙසක් පහන' ළමා කතාව වෙනුවෙන් පිරිනැමුනි. නෝමා කොන්කුවර්ස් හොඳම ළමා පොත් චිත්‍ර තරඟයේ තෙවැනි තැනද දිනා ගනු ලැබීය. 2012 දී ළමා කලාපීය සාහිත්‍යට හා සංස්කෘතියට කළ සේවය වෙනුවෙන් ජපානයේ නිකෛ සම්මානය ප්‍රධානය කරනු ලැබීය.
මේ ඇගේ චිත්‍රමය ජීවිතයෙන් සුඟක් පමණි. මේ සියල්ල අතර කුඩ හොරා ද තමන්ගේ අලුත් කුඩය ඉහළාගෙන සිබිල්ට හෙවණ සදමින් එහා-මෙහා ඇවිද යනු පෙනේ. 90 වියැති සිබිල් කෙළි වියේ පෑ 'කිචිබිචිය' නඟමින් ඒ කුඩේ යටින්ම ඇවිද යනු මට පෙනෙයි.
කාංචනා අමිලානි
COMMENTS