විශාල වියදමක් දරා වගා කර අස්වනු නෙලා ගනු ලැබුවත් තම කෙසෙල් සදහා නිසි මිලක් නොලැබෙන නිසා කෙසෙල් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව හම්බන...
විශාල වියදමක් දරා වගා කර අස්වනු නෙලා ගනු ලැබුවත් තම කෙසෙල් සදහා නිසි මිලක් නොලැබෙන නිසා කෙසෙල් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළු ආශ්රිත ප්‍රදේශ රැසක කෙසෙල් ගොවීන් චෝදනා කරයි.
බොහෝ දිනවල කුමන මිලකටවත් කෙසෙල් විකුණා ගැනීමට නොහැකි වන බවත් මිට පෙර රුපියල් කිලෝවක් 150 ක් වැනි මුදලකට අලෙවි කල පුවාළු කිලෝවක් මේ දිනවල රුපියල් 100 කටවත් විකුණා ගැනීමට නොහැකිබව ගොවියෝ පෙන්වා දෙති.
''කෙසෙල්වලට කිසිම මිලක් නෑ. අතරමැදියො තමයි බොහෝ විට අඩුවට අරගෙන ගෙනියන්නෙ. ඒත් මිලක් හැදෙන බවක් පේන්න නෑ. ගොඩක් අමාරුවෙන් මිනිස්සු ජීවත් වෙන්නෙ මිලක් නැති නිසා. මේ පළාතෙම අය මෙතනට තමයි කෙසෙල් ගේන්නෙ. මේ බරවකුඹුක පොළ තමයි ලොකුම පොළ. මාස තුනක පමණ සිට මිල අඩුවීම තියෙනවා. වෙනදා පුවාලු කෙසෙල් රු. 150ට 160ට තිබුණෙ. දැන් රු.90ට විතර යන්නෙ. රු. 150න් එහා තිබුණෙ නැතිවුණොත් ගොවියට කිසිම ලාභයක් නෑති බව කෙසෙල් ගොවියෙකු වන එන් ඩී උපාලි මහතා කියා සිටියේය ''
''මේ දවස්වල කෙසෙල් විකුණන්න අමාරුයි. සාමාන්‍යයෙන් අබුල් කෙසෙල් කිලෝවක් රු.20 වගේ මිලකට යන්නෙ. පහුගිය දවස්වල විකුනන්නම බැරි වුණා. දැන් නම් පොඩි මිලක් තියෙන්නෙ. ඒකෙන් ජීවත්වෙන්න අමාරුයි. භූමිතෙල් මිලයි. වතුර ගහන්න ඕන. පොහොර දාන්න ඕන. ඒ දේවල් එක්ක ජීවත්වෙන්න අමාරුයි මේ මිලත් එක්ක. කෙසෙල් මේ පොළට අරගෙන එන්නෙත් කිලෝමීටර 35ක පමණ දුර සිට. ඒ ගෙනැල්ලත් අඩුවට තමයි දෙන්න වෙන්නෙ“ පී ඒ සරත්චන්ද්‍ර කියා සිටියේය.
කෙසෙල් ගොවියෙකු වන ප්‍රියන්ත මහතා
''කෙසෙල්වල තිබිච්ච මිල නෙවෙයි දැන් තියෙන්නෙ. කෙසෙල්වල මිල රු.100ට වගේ තියෙනවා. ඒ වුණාට ඒක පාලනය කරගන්න බෑ කම්කරු කුලියයි පොහොර කුලියයි යන කොට ලාභයක් නෑ අපට. අපි අවුරුදු 20ක 25ක ඉඳලා ගොවිතැන් තමයි කරන්නෙ. ඒත් කෙසෙල් ගොවියා හැමදාම මේතත්වෙම තමයි ඔලුව උස්සන්න බෑ ඉතින්. අක්කර 6ක පමණ වගා කරනවා. අවුරුදු දෙකක පමණ සිට තමයි මේ කෙසෙල්වලින් ලාභයක් ගන්න බැරි තත්වය උදා වුණේ. ඊට කලින් නම් පොහොර මිල තෙල් මිල අඩු වෙලා තිබුණා. ඒකෙන් ටිකක් සහනය තිබුණා.“
මේ අතර හම්බන්තොට කෙසෙල් ගොවින් මුහුණපා ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතා දකුණු පලාතේ ඇති විශාලතම කෙසෙල් තොගපොල වන අම්බලන්තොට බරවකුඹුක කෙසෙල් තොගපලේ ඊයේ (20) දින නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ගොවින් සමග ඇති ගැටළු සම්බන්ධයෙන් විමසමක් ද කරන ලදී.
කෙසල් ගොවින් හට ඇති ගැටළු විමසීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතා ''ලංකාවෙ ලොකුම කෙසෙල් පොළ බරවකුඹුක කෙසෙල් පොළ. මේ වන විට ගොවියා ඉන්නවා කෙසෙල් ටික තමුන්ට විකුණගන්න බැරිව. එක ගොවියෙක් කෙසෙල් කැන් 06ක් රුපියල් 400ට විකුණලා තියෙන්නෙ. මේ පොළ ගාස්තුව එක කෙසෙල් කැනකට රුපියල් 10ක් ගෙවන්න ඕන. ඒ වගේම ප්‍රවාහණ ගාස්තු වැය වෙනවා. මේ ගාස්තුවලට ගෙවුවට පස්සෙ කෙසෙල් විකුණලා ගොවියට ඉතිරි වෙන්න මුදලක් නෑ. තවත් සමහර ගොවීන්ට කෙසෙල් ටික විකුණ ගන්න තාමත් මිලක් නැතිව ඉන්නවා’’
''කෙසෙල් ගොවියා විශාල පිරිවැයක් දරනවා කෙසෙල් වගාව සඳහා. කෙසෙල්වලට පැනමා කියන රෝගෙ හැදෙනවා. ඒකට තවමත් ලෝකෙ බෙහෙත් හොයාගෙන නෑ. ඒ රෝගෙ හැදුණම කෙසෙල් අස්වැන්නෙන් භාගයක්ම විනාශ වෙනවා. ඉතුරු ටිකත් තුට්ටු දෙකට විකුණන්න වෙන බවද ඔහු කියා සිටියේය.
“කෙසෙල් මිල දී ගන්නා අතරමැදියාත් ගැටළු ගණනාවකට මුහුණ දෙනවා. ගොවියාගෙන් කෙසෙල් ටික ගන්නවා. ඇසුරුම් කර්මාන්තයක් නෑ. මේවා එකට එක පටවනවා. තෙරපි තෙරපි තමයි මැනිං මාකට් එක දක්වා යන්නෙ. මේ කෙසෙල්වලින් 40%කට වැඩිය අපතේ යනවා. ඒ නාස්තිවීමත් සැලකිල්ලට ගෙන තමයි අතරමැදියා කෙසෙල්වල මිල හදන්නෙ. එවිට පාරිභෝගිකයන් වෙත යන්නෙ කෙසෙල් මිල වැඩි වෙලා බවයි ඔහු කියා සිටියේ.
“ඒ නිසා මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ආණ්ඩු හිතන්නෙ ලංකාවෙ කෙසෙල් ගොවීන් ගැන නෙවෙයි. පසුගිය ආණ්ඩුව කෙසෙල් වගාව සඳහා ඇමරිකානු සමාගමකට අක්කර දහස් ගණනක් ලබා දුන්නා. ඒ අය දැනට කෙසෙල් වගාව කරනවා. අපේ අය රුපියල් 400ට ඒකෙ කුලී වැඩ කරනවා. ඒ ඇමරිකානු සමාගම මෙහේ හදන කෙසෙල් විදේශ වෙළඳපොළට යන්නෙ. ඇයි අපේ ගොවීන්ගෙ කෙසෙල් ටිකට විදේශ වෙළඳපොලක් හදලාදෙන්න බැරි කියලා අපි ආණ්ඩුවෙන් අහන බව නාමල් කරුනාරතන මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් අප කෘෂි කාර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ කෙසෙල් ගොවීන්ගේ ප්රශ්නය ගැන ඉදිරියේ දී කතාකරන බවත් එමෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළට යැවිය හැකි කෙසෙල් ගොවීන්ට හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන බවත්ය.
“අපේ රටේ කෙසෙල් වර්ග ගණනාවක් තියෙනවා. අපේ රටේ කෙසෙල්වලට ඉහළ ඉල්ලුමකුත් තියෙනවා. නමුත් මේ වගාකරන ක්‍රමවේදයේ යම් ගැටළුවක් තියෙනවා. අපේ ගොවීන් වැඩිපුර පොහොර යෙදීම නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒ තත්වය අවම කරගෙන හොඳ තත්වයේ කෙසෙල්වර්ග අපේ වෙළඳපොළටත් ජාත්‍යන්තර වෙළඳපොළටත් යැවීමේ වැඩපිළිවෙල අපි දියත්කරනවා. ඒ වගේම නිෂ්පාදනයේ වැඩිවීමකුත් තිබෙන බවද අමාත්‍ය මහින්ද මරවීර මහතා කියා සිටියේය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS