නීතිපති දෙපාර්තමේන්තුව මගින් දිගින් දිගටම විශේෂ නඩු ප්‍රමාද කරන බවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයෙන් එල්ල වන චෝදනා නිසා දෙපාර්තමේන්තුව ජනත...
නීතිපති දෙපාර්තමේන්තුව මගින් දිගින් දිගටම විශේෂ නඩු ප්‍රමාද කරන බවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයෙන් එල්ල වන චෝදනා නිසා දෙපාර්තමේන්තුව ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වන තත්ත්වයක් මතු වී ඇති බවත්, ඒ සඳහා කඩිනමින් මැදිහත් නොවුණහොත් අනාගතයේ දී රජයේ නීතීඥවරුන්ට අධිකරණයේ දී බරපතළ අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වනු ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ජනාධිපතිවරයා, එසේ නීතිපති දෙපාර්තමේන්තුව අවමානයට ලක්කිරීම වහාම නතර කිරීමට අදාළ පියවර ගන්නා බව පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කරන බවත්, නීතිපති දෙපාර්තමේන්තුවට එවැනි කැළලක් ඇති වීම බරපතල තත්ත්වයක් බවත් ජනාධිපතිවරයා මේ ඉහළ නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
එජාප මැති ඇමතිවරුන්ගේ විවේචන :
ජනාධිපති නීතීඥවරුන් වන දප්පුල ද ලිවේරා, යසන්ත කෝදාගොඩ වැනි නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යේෂ්ඨයන්ව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් විසින් දිගින් දිගටම විවේචනය කර තිබිණි.
බැඳුම්කර කොමිසමේදී හිටපු ඇමැති රවී කරුණානායකගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දප්පුල ද ලිවේරාට චෝදනා කරන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු සම්බන්ධයෙන් කටයුතු කරන යසන්ත කෝදාගොඩට විශේෂිත නඩුවලට අදාළ ව අධිචෝදනා පත්‍ර භාරදීම දිගින් දිගටම ප්‍රමාද වන බවට චෝදනා එල්ල කර තිබිණි.
පසුගිය ආණ්ඩුව කාලයේ දී සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා වලට අදාළ ව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් යොමු කර තිබූ නඩු වලින් 17 කට අදාළව අධිචෝදනා පත්‍ර භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.
(ජනිත ප්‍රසාද් සේනානායක)
COMMENTS