(ඊයේ දවස පුරාවට විවාදට භාජනය කරන ලදුව, කල් තබන ලද) දවසේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී විධිමත් ලෙස සම්මත කිරීම සඳහා න්‍යාය පත්‍රයේ අංක 01 වශයෙන...
(ඊයේ දවස පුරාවට විවාදට භාජනය කරන ලදුව, කල් තබන ලද) දවසේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී විධිමත් ලෙස සම්මත කිරීම සඳහා න්‍යාය පත්‍රයේ අංක 01 වශයෙන් දක්වා තිබූ යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් සභාවට ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව සම්මත කිරීමට බෙදීමක් ඉල්ලා සිටි අතර ඉන් අනතුරුව, බෙදුම් සීනුව නාද වෙන අතරතුරේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් එම යෝජනාවට අදාළව දිගින් දිගටම නොනවත්වා කරුණු දැක්වීම සිදු කරගෙන යන ලදී.
බෙදුම් සීනුව නාද වීම නතරවීමෙන් පසුව, කතානාකයවරයා නියෝග කළේ විද්‍යුත් ඡන්ද ක්‍රමය මගින් ඡන්දය පැවැත්වීමටයි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් සභා ගර්භය මැදට පැමිණ, එම ඡන්දය ගැනීමේ කටයුතුවලට දිගින් දිගටම බාධා කරන්නට විය. එම අවස්ථාවේදී විද්‍යුත් ඡන්ද ක්‍රමය මගින් ඡන්දය ගැනීම ප්‍රායෝගිකව අපහසු වන බැවින්, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ගැනීමට කථානායකවරයා විසින් තීරණය කළේය. නමින් ඡන්දය ගැනීම සිදුකරගෙන යන අවස්ථාවේදීද, නොකඩවා විපක්ෂ මන්ත්‍රීවරුන් බාධා කිරීම් සිදුකළ අතර සභාගර්භයේ සෙංකෝලය තැන්පත් කර තිබෙන ස්ථානය අසලට එකතු වී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විසින් සෙංකෝලය සභාවෙන් ඉවතට ගැනීමටද උත්සාහ කරන අයුරු දක්නට ලැබිණි.
තවදුරටත් සාමකාමී තත්ත්වයක් ඇති නොවූයෙන්, මන්ත්‍රීවරුන්ගේ කටහඬවල් අනුව, ඡන්දය ගැනීමට සිදුවන බව කථානායකවරයා විසින් සභාවට දන්වා, ඉන් අනතුරුව එසේ ඡන්දය ගැනීමට තීන්දු කළේය.
මෙම අවස්ථාවේ ආණ්ඩු පාර්ශ්වයේ සියලුම මන්ත්‍රීවරුන් සිය ආසනවලින් නැගිට, අදාළ යෝජනාවට පක්ෂව, කටහඬින් තම ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට අනුකූලව, සභාව හමුවේ තිබූ අද දින න්‍යාය පත්‍රයේ අංක 1 දරන එම යෝජනාව විධිමත් ලෙස පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුවද, සභා ගර්භයේ තිබූ නොසන්සුන්තාවය අඛණ්ඩවම තව තවත් වර්ධනය වූ බැවින්, පාර්ලිමේන්තුව ඊළඟ දිනය සහ වේලාව තෙක් කල් තැබීමට සිදු විය. ඒ අනුව, 2017 අගෝස්තු මස 04 වන සිකුරාදා පෙරවරු 10.30 දක්වා සභාව කල් තැබිණි.
කථානායක මාධ්‍ය ඒකකය
COMMENTS