දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති මිනීමරුවෝ රණවිරුවෝ නොවෙති

මෙය රණවිරු දඩයමක් වන්නේ කෙසේ දැයි අපට නොවැටහේ. දසනායකව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධයේදී ඔහු කළ කී දෑ දේ සම්බන්ධයෙන් ...

රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති මිනීමරුවෝ රණවිරුවෝ නොවෙති

මෙය රණවිරු දඩයමක් වන්නේ කෙසේ දැයි අපට නොවැටහේ. දසනායකව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධයේදී ඔහු කළ කී දෑ දේ සම්බන්ධයෙන් නොවේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක චූදිතයකු ලෙසය. හමුදා නිල ඇඳුමක් ඇඟලා ගත් සැණින් කෙනෙකු රණවිරුවකු වන්නේ නැත. අනෙක් අතට ඕනෑම අසමජ්ජාති වැඩක් කිරීමට අධිකාරි බලයක් හෝ බලපත්‍රයක් ආරක්ෂක අංශ සාමාජිකයකු වීම තුළ හිමි වන්නේ ද නැත. තර්කය එතරම්ම සරලය. නීතියට පිටින් යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් හිමි විය යුතුය. දසනායකට රණවිරු ලේබලය පින්තාරු කරමින් සිටින තක්කඩි දේශපාලනඥයන් එසේ හැසිරෙනුයේ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් බව සුපැහැදිලිය. 2000 වසරේදී යුද හමුදාව සතු අලිමංකඩ ඇතුළු ප්‍රධාන හමුදා සංකීර්ණ එකින්එක ඇද වැටීමෙන් පසු යාපන කොටුවේ සිරවී සිටින හමුදා භටයන්ගේ දිවි බේරා ගැනීමට නායකත්වය දුන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා, රාජපක්ෂ සමයේදී දරුණු කායික හා මානසික පීඩාවන්ට ලක්වද්දී රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් අද මාධ්‍ය සංදර්ශන පවත්වන මේ මහත්වරු අවම තරමින් කටක් හෝ ඇරියේ නැත. ත්‍රස්තවාදයට එරෙහි වූ තීරණාත්මක අවසන් සටන සඳහා හමුදාවට නායකත්වය සැපයූ සරත් ෆොන්සේකා හමුදාපතිවරයාට පසු කාලයකදී එළවා එළවා පහර දෙද්දීත් මේ ඊනියා දේශප්‍රේමීන් දැක්වූයේ එවැනිම වූ නිශ්ශබ්දතාවකි. රාජපක්ෂ සමයේ ඒ තරමටම සමාජය නිර්වින්ධනය කර පැවැතිණි.

හමුදා හෝ පොලිස් සාමාජිකයන් මිනීමැරුම් පැහැර ගැනීම් ඇතුළු අපරාධයන් සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් මීට පෙර සිදුව ඇත්තේ වරකදී දෙකකදී නොවේ. ඕනෑ තරම් එබඳු සිදුවීම් හමුවේ 1996 අගෝස්තු 6 වැනි දින ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරියව දූෂණය කර මරා දැමීම හා ඇගේ මව වූ රාසම්මාගේ දහසය හැවිරිදි සහෝදරයා වූ ප්‍රාණවන්ගේ හා පවුලේ හිතවතකු වූ කිරුබාකරන්ගේ ගෙළ සිර කර සිරුර කොටස්වලට කපා හමුදා කඳවුරක වළලා තිබියදී පසුව සොයා ගන්නා ලදී. එම ම්ලේච්ඡ ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවට හා පොලීසියට සම්බන්ධ පස්දෙනෙකු වරදකරුවන් වන ලදී. 1989 අගෝස්තු මාසයේ සිට නොවැම්බර් දක්වා කාල පරාසය තුළ ඇඹිලිපිටියේ පාසල් සිසුන් තිස්දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු වරදකරුවන් විය. 2000 ඔක්තෝම්බරයේදී බිඳුණුවැව දී මෙන්ම 71 අප්‍රියෙල් 16 වැනි දින සිදුවූ සුප්‍රකට ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමේදී ආ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව විශේෂ සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක වී තිබේ. එම ඉතිහාසය සමඟ බලන විට මේ සිදු වීම මහා අමුතු දෙයක් නොවේ.

කොමදෝරු දසනායකව අත්අඩංගුවට ගැනුණු මේ සිදුවීම කරළියට පැමිණියේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ 2009 මැයි 28 වැනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සමඟය. සක්‍රීය නාවික හමුදා සේවාවේ නිරතව සිටිමින් එල්. ටී. ටී. ඊ. ය සමඟ ඍජුව හෝ වක්‍රව සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව හොයා බලන ලෙස ඉල්ලමින් කරන්නාගොඩ මහතා එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහට එරෙහිවය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් නාවික හමුදාවේ එවකට සිටි විනයාරක්ෂකාධිපති කපිතන් සේනක හංවැල්ල මහතා විසින් කරන ලද ස්ථානීය පරීක්ෂාවකදී සම්පත් මුණසිංහ පරිහරණය කළ නිලධාරී නිවස්නෙහි අංක 8 දරන කාමරය තුළ තදාසන්න කාලයේ පැහැර ගැනීම්වලට ලක්වූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් විදේශ ගමන් බලපත්‍ර ණය කාඩ්පත් සහ ජංගම දුරකථන රැසක් හමුවන ලදී. ඒවා අතර ගල්කිස්ස ලංකා බැංකුවේ අංක 049568 දරන රුපියල් 760,000 ක චෙක්පත, ඒ 3323 දරන රුපියල් 500,000 ක් සඳහන් කොළ පැහැති පොරොන්දු පත්‍රය, අංක 5656 දරන රුපියල් 400,000ක් සඳහන් රෝස පැහැති පොරොන්දු පත්‍රය, අංක 8020019831 දරන සම්පත් යන අයගේ කොමර්ෂල් බැංකු ගිණුම් පොත, අංක 7960595 දරන සම්පත් යන අයගේ ලංකා බැංකු ගිණුම් පොත, අංක 002020330398 දරන සම්පත් අය අයගේ එච්. එන්. බී. ගිණුම් පොත. 002093553 දරන සම්පත්ගේ හැටන් නැෂනල් බැංකු ගිණුම් පොත, N 1431844 දරන ස්ටැන්ලි ලියෝන් නමැත්තාගේ විදේශ ගුවන් ගමන් බලපත්‍රය, අංක 601772809V දරන කේ. ඒ. ඇන්ටන් යන අයගේ ජාතික හැඳුනුම්පත, අංක 790683021V දරන ත්‍යාගරාජා ජෙගන් යන අයගේ ජාතික හැඳුනුම්පත 584201179V දරන එන්. එස්. ලියෝන් යන අයගේ ජාතික හැඳුනුම්පත අමලන් ලියෝන් හා රොෂාන් ලියෝන් යන අයගේ ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ඔවුන් සමඟ රාමනාදන් මහල් නිවසේ පදිංචිව සිටි ඉංග්‍රීසි ජාතික මයික් ඕගන්ගේ ජංගම දුරකථනය ද එහි තිබී හමු වන ලදී. එම බඩු භාණ්ඩ තමන් සන්තකයට ගත් කපිතන් සේනක හංවැල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මැයි 30 වැනි දින බාර දෙන ලදී. අමතක නොකළ යුතු කරුණ වන්නේ මේ කාලය වන විට සම්පත් මුණසිංහ නාවික හමුදා රාජකාරිවලින් ඉවත්ව යටිබිම්ගත ජීවිතයකට හුරුව තිබිණි.

“නේවි සම්පත්” යනුවෙන් ප්‍රචලිත සම්පත් මුණසිංහ, වසන්ත කරන්නාගොඩ නැ‍ඟෙනහිර නාවික ප්‍රදේශය භාර අඥාපතිව සිටි සමයේ ත්‍රිකුණාමලයේ නාවික බුද්ධි අංශ නිලධාරියකු ලෙස කටයුතු කළේය. ඔහු එල්. ටී. ටී. ඊ යේ ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර සෝදිසියෙන් සිටිමින් වැදගත් තොරතුරු රැසක් කල් තියා හෙළි කර ගත් දක්ෂ නිලධාරියෙකු විය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා වූ පසු ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා වූයේ සම්පත්ය. සම්පත් හා කරන්නාගොඩ මහතා අතර පැවැති සම්බන්ධය කෙතරම් එකක් ද කිවහොත් එය පියෙකු හා දරුවෙකු අතර මට්ටමේ සමීප සම්බන්ධතාවයක් විය. එසමයෙහි බොහෝ ඉහළ නිලධාරීන් තම මාරුවීම් සිදු කර ගැනීමට සම්පත් වෙත පැමිණීමෙන් ඔහු වටා තිබු රැස් වළල්ලේ තරම පෙනී යයි. හිටි හැටියේ සම්පත් හා කරන්නාගොඩ මහතා අතර පැවැති ඒ සමීප සම්බන්ධය නොඑසේනම් එම විශ්වාසය පළුදු වූයේ කෙසේ ද යන්න තවමත් හරිහැටි පැහැදිලි නොමැත. ඒ ගැන ඇති කථා බොහෝය.

මේ අතර සම්පත් මුණසිංහගේ සැක කටයුතු ගනුදෙනු රැසක් පිළිබඳව තොරතුරු රැසක් කරන්නාගොඩ මහතාට දැනගැනීමට ලැබී තිබිණි. ඒ අතර මිලියන ගණනක මුදල් ඉල්ලමින් සිසුන් පස්දෙනකු පැහැරගෙන යෑම පිළිබඳ සිදුවීමක් ද විය. ඒ පිළිබඳ කන වැකුණු වහාම ඒ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස එවකට නාවික හමුදාවේ බුද්ධි අංශ පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ආනන්ද ගුරුගේ මහතාට දැනුම් දෙන ලදී. එම අතුරුදහන් කිරීම පිළිබඳ විස්තර කපිතන් ජගත් ජයන්ත රණසිංහ විසින් හෙළිකර තිබූ අතර එම තරුණයන් පස්දෙනා වූයේ ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, රජිව් නාගනාදන්, මොහොමඩ් ජිලාල් ජමාල්ඩීන් හා මොහොඩ් සාජීත්ය. කොමදෝරු උදයකීර්ති විජය බණ්ඩාර වෙත එවන ලද කෙටි පණිවිඩයක් මඟින් එය ජගත් රණසිංහ දැනුම් දී තිබිණි.

එම තරුණයන් පැහැර ගැනීමෙන් පසු රජිව් නාගනාදන්ගේ දෙමවුපියන්ට කථා කරමින් දරුවන්ව නිදහස් කිරීමට රුපියල් මිලියන 10 ක කප්පමක් ඉල්ලා තිබූ අතර පසුව එය මිලියනය දක්වා අඩු කර නාවික හමුදාපතිවරයා සමීපයෙහි වැඩ කරන සම්පත් නැමැති නිලධාරියෙකුට ලබාදීම යුතු බව පැහැර ගන්නා ලද පුද්ගලයෙක් රාමනාදන් පවුල වෙත දැනුම් දී තිබිණි.
තමන් වෙත ලැබුණු එම බඩු භාණ්ඩ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වද්දී හෙළි වූ වැදගත් කරුණක් වූයේ තමනට හමු වූ ජාතික හැඳුනුම්පත් හා ගුවන් ගමන් බලපත්‍ර හිමි සිවු දෙනකු 2008 වසරේ සිට අතුරුදහන් වී ඇති බවය.

ඒ අතරින් කෙනෙකු වූ ස්ටැන්ලි ලියෝන් ආරිප්පුහි නැ‍ඟෙනහිර ආරිප්පුවල අංක 47/1 දරන ස්ථානයේ පදිංචිකරුවකු විය. ඔහු කොළඹට පැමිණ තිබුණේ සිය පුත්‍රයා වූ අමලන් ලියෝන් හා මයික් ඕගන් නමැති විදේශිකයකු සමඟය. කොළඹ ගමනේ අරමුණ වූයේ එක්සත් රාජධානිය බලා යෑමට වීසා බලපත්‍ර ලබා ගැනීමටය. කොළඹට පැමිණි ඔවුන් නතර වූයේ කොටහේන රාමනාදන් මහල් නිවාස සංකීර්ණයේය. 82/73සී හී ය. ආයුධ සන්නද්ධ නාඳුනන කල්ලියක් විසින් ස්ටැන්ලි හා අමලන්ව පැහැරගෙන තිබුණේ 2008 අගෝස්තු 25 වැනි දිනදීය. සම්පත්ගේ නිලධාරී නිවස්නයෙහි තිබී හමු වූ ජාතික හැඳුනුම්පතක නම සඳහන්ව තිබූ ත්‍යාගරාජා ජෙගන් ත්‍රිකුණාමලයේ පදිංචිකරුවකු විය. කොළඹ 13 ජිංතුපිටියේ ස්වර්ණාභරණ අලෙවිසලක සේවය කළ ජෙගන් ද අතුරුදන්ව තිබුණේද 2008 වසරේදීය.

සම්පත් මුණසිංහ යටතේ රාජකාරි කළ නාවික සංඥා සෙබළ අලුත්ගෙදර උපුල් බණ්ඩාර හා ලක්ෂ්මන් උදය කුමාරගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම පැහැර ගැනීම් පිළිබඳව තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනුමට අපරාධ පරීක්ෂකයන් සමත් විය. මාතලේ රත්තොට පාර කළුදාවල පදිංචිකරුවකු වන උපුල් බණ්ඩාර සදහන් කර තිබුණේ 2008 වසරේ දිනක සම්පත් මුණසිංහ විසින් තමා අමතා සැක කටයුතු පුද්ගලයන් පස්දෙනෙකු ටාටා ඉන්ඩිගෝ වර්ගයේ කළු පැහැති මෝටර් රථයකින් දෙහිවල බඩෝවිට මාර්ගයට හැරෙන ස්ථානයට රාත්‍රී 10.00 ට පැමිණෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන දැනුවත් කරන ලෙස පැවසු බවත්ය. ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමත් සමඟ වෑන් රථයකින් ගොස් ඉහත නියෝගය ක්‍රියාත්මක කළ බව උපුල් බණ්ඩාර පවසා තිබිණි. ඒ සමඟම ඔවුන් ගමන් කළ කළු පැහැති KC 5559 දරණ මෝටර් රිය ද රැගෙනවිත් තිබිණි. නාගනාදන් පවුලේ ආර්ථිකමය හැකියාව පිළිබඳව සම්පත් මුණසිංහට විස්තර ලබා දී තිබුණේ, ආරක්ෂක අංශවලට ඔත්තු සැපයූ අන්වර් අලී නොහොත් හාජ්ජියාර් නමැත්තෙකි. අන්වර් අලී දෙහිවල පොලිස් ස්ථානය අසල ප්‍රනාන්දු පටුමගේ පදිංචිකරුවකු විය.

රජිව් නාගනාදන් කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුවකු වූ අතර ඔහු අධ්‍යාපනය සම්බන්ධයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූවකු විය. ඔහු පැහැර ගැනීමට ලක් වූයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානිය බලා යෑමට පෙර දිනයේදීය. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද විශේෂ දක්ෂතා දැක්වූ රජිව්ගේ උසස් පෙළ ප්‍රතිඵල සටහන් වූයේ ‘ඒ’ සාමාර්ථ දෙකක් සහ ‘බී’ සාමාර්ථයක් ලෙසිනි. වෛද්‍යවරයකු වී තම මවුබිමට සේවය කිරීම ඔහුට අවශ්‍යව තිබිණි. රජිව්ගේ දෙමවුපියන් ඔහුට කෙතරම් සෙනෙහසක් දැක්වූවා ද කිවහොත් උසස් පෙළ සාර්ථකව සමත් වීමෙන් අනතුරුව බීඑම්ඩබ්ලිව් රථයක් ඔහුට තිළිණ කිරීමට ඔවුන් කටයුතු කළේය. ඔහුගේ උපන් දින සාද පැවැත්වූයේ අගනගරයේ ඇති ඉහළම හෝටල්වලය. කප්පම් මුදල් ගැනීම සඳහා ඔහුව පැහැර ගන්නේ ඒ සියල්ල හොඳහැටි අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

රජිව් පිළිබඳව එම ඔත්තු‍ සපයා තිබුණේ අන්වර් අලීය. විදෙස්ගත වීමට පෙර දින රාත්‍රියේ රජිව් තම මිතුරන් ද සමඟ රෑ කෑමට පිටතට පැමිණියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අසල ඇති සුප්‍රසිද්ධ සැලුනයකින් කොණ්ඩයද කපා ගැනීමේ හා අන්වර් අලීව ද හමුවීමේ අරමුණු ද සහිතවය.

මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව පැහැර ගැනීමෙන් අනතුරුව රජිව් ඇතුළු කණ්ඩායම ගෙනවිත් ඇත්තේ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරේ පිට්ටු බම්බුව නම් ස්ථානය වෙතටය. එතැනින් ඔහුව ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ පිහිටි නාවික කඳවුරට රැගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශාලම නාවික කඳවුර වන එය නාවික හමුදාවේ හදවත ලෙස සැලැකෙයි.

ඉන්දියන් සාගරය තුළ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත්ව තිබූ විශාලම කඳවුර වූ එය 1957 වසරේ ඔක්තෝම්බර් 15 වන දින රාජකීය ලංකා හමුදාවේ භාරයට පත්වන ලදී. ඓතිහාසික වටිනාකමක් සහිත එහි දෙවන මහා ලෝක යුද්ධයට පෙර සිට සවිකරන ලද විශාල නාවික කාලතුවක්කු තවමත් දැකගත හැකිය. එම කාලතුවක්කුවලට අවශ්‍ය උණ්ඩ සහ නෞකාවලට අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තැබීමට සකස් කරන ලද විශාල උමං මාර්ග හා භූගත ගබඩා තවමත් එහි පවතී. ත්‍රිකුණාමලයට රැගෙන ආ රජිව් නාගනාදන් ඇතුළු පිරිසව රඳවා තබන ලද්දේ ගන් සයිඩ් නමින් හඳුන්වනු ලබන එවැනි එක් භූගත සිර මැදිරියකය. රජිව් නාගනාදන් ඇතුළු තරුණයන් පිරිස පැහැරගත් කණ්ඩායම අවසානයේ කප්පම් මුදල් පිළිබඳ ඇතිවූ ප්‍රශ්නයක් මත අන්වර් අලීව ද පැහැර ගැනීමට කටයුතු කළේය. ඒ තරුණයන් පස්දෙනාගේ පැහැර ගැනීම පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකිරීමේ අරමුණිනි.

එම පැහැර ගැනීම සිදු වූයේ කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ දෙසට පැමිණෙමින් සිටියදීය. පැහැර ගැනීමට ලක්වූ සියලු දෙනාම එකවර ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රඳවා සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂකයන් මේ වන විට සොයාගෙන ඇත. ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ සිටියදී රජිව් නාගනාදන් තම නිවෙසට ද කතා කර ඇත.
වරක් අන්නච්චි නම් පුද්ගලයකු දුරකථනයෙන් රජීව්ගේ පියා වන ගෝවින්ද්‍ර ස්වාමිගෙන් ඉල්ලා ඇත්තේ දරුවන් මුදා හැරීමට නම් රුපියල් මිලියන 10ක කප්පමක් තමන්ට අවශ්‍ය බවය. හෙට්ටු කිරීමකින් අනතුරුව අවසානයේදී ගනුදෙනුව ලක්ෂ 50 තෙක් අඩු විය. මුදල් ද රැගෙන නාරම්මලට පැමිණෙන ලෙස කප්පම්කරුවන් රජිව්ගේ පියාට දැනුම් දුන්මුත් ඔහු පවසා ඇත්තේ නාරම්මල වෙනුවට වැලිසරට පැමිණෙන ලෙසය. එවිට “ලොකු අන්නච්චිගෙන්” විමසා පිළිතුරක් දෙන බව කියමින් දුරකථනය විසන්ධි කර ඇත. මේ අතර 2009 ජනවාරි 15 දින රජිව් තම පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

මාස ගණනකට පසු තම පුත්‍රයාගේ කටහඬ ඇසුණුමුත් කතා කරන්නේ පුත්‍රයාම ද යන්න දැනගැනීමට ගෝවින්ද ස්වාමිට අවශ්‍ය විය. ඒ නිසාම ඔහු පෞද්ගලික ප්‍රශ්න කිහිපයක් සිය පුත්‍රයාගෙන් විමසුවේය.
නිවසේ මාළු ටැංකියේ සිටින මාළුන් පිළිබඳව ද පියා පුතාගෙන් විමසුවේය. කතා කරන්නේ රජිව් බව සැක හැර දැනගත්තේ එම පරීක්ෂාවෙන් අනතුරුවය. තමන්ට මුහුණ දීමට සිදුවූ දෑ ඇතුළු බොහෝ විස්තර රජිව් සිය පියාට පවසන ලදී. මේ ආකාරයට 2009 අප්‍රියෙල් මාසයේදී ද හේෂාන් නමැත්තෙකුගෙන් රජිව්ගේ දෙමවුපියන්ට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු ද ඉල්ලා කියා සිටියේ කප්පම් ගෙවූහොත් දරුවන් නිදහස් කරන බවය. පසුව එම පුද්ගලයා අවස්ථා කිහිපයකදීම තම දුරකථනය ඔස්සේ දෙමවුපියන් හා කතා කිරීමේ ඉඩ රජිව්ට ලබා දුන්නේය.

කොළඹ සිට තමන්ව ත්‍රිකුණාමලයට රැගෙන විත් ඇති බව රජිව් ඒ අවස්ථාවේදී දැනුම් දුන්නේය. තම පුත්‍රයා ඇතුළු පිරිස නාවුක හමුදා භාරයේ සිටින බව සැක හැර තහවුරු කරගැන්මෙන් අනතුරුව ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෝවින්ද ස්වාමි තම මිතුරෙකු වන අමාත්‍ය ෆිලික්ස් පෙරේරාගේ සහාය පැතීය. ෆිලික්ස්, වාචිකව මෙන්ම ලිඛිතවත් ඒ පිළිබඳව නාවික හමුදාපතිවරයාව දැනුවත් කළ මුත් කිසිවක් සිදු වූයේ නැත. අත්අඩංගුවට ගත් පිරිස ත්‍රිකුණාමලයේ සිටින බවට තවත් සාක්ෂියක් 2009 මාර්තු 23 වැනිදා අන්වර් අලීගේ ඥාති සහෝදරයකු වන සිරාජ්ගේ ජංගම දුරකථනයට ලැබිණි.

“සම්පත් මාව අල්ලාගත්තා. ඩී.අයි.ජී. කමල්ඩීන්ට කියලා මාව බේරගන්න.” ඔහු පැවසුවේය. 2009 ජුලි 26 වැනිදා නැවත දුරකථන ඇමතුමක් අන්වර්ගෙන් සිරාජ්ට ලැබිණි.
“මාව තියාගෙන ඉන්න අන්තිම දවස අද. කොහොමහරි මාව බේරගන්න.” ඔහු පැවසුවේය. ඉන්පසු කිසි දිනෙක ඔහු කථා කළේ නැත.
කප්පම් ගැනීමේ අරමුණින් මේ සියලු දෙනා පැහැරගත් බව සුපැහැදිලි වන අතර වරක් අන්නච්චි නමින් කථා කළ පුද්ගලයා ත්‍යාගරාජා ජෙගන්ගේ මවට කථා කර රුපියල් මිලියනයක කප්පම් මුදලක් ඇයගෙන් ද ඉල්ලා සිටියේය. අනතුරුව ගනුදෙනුව ලක්ෂ 5ක මුදලක් දක්වා අඩු වූ අතර තඹලගමුව ප්‍රදේශයට කප්පම් මුදල් ද රැගෙන යෑමෙන් පසු එය රැගෙන පළා යෑමට කටයුතු කරන ලදී.

මේ සමස්ත සිදුවීම් ජාලය දෙස බලන විට නාවික හමුදාවට සම්බන්ධ කණ්ඩායමක් මේ පිටුපස සිටින බව පැහැදිලිය. ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ විශේෂ රාජකාරිවලට අනුයුක්තව සිටි නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චි හා වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාව සිටි සම්පත් මුණසිංහ යටතේ පැවැති ආවේක්ෂණ කණ්ඩායමේ නිලධාරීන් විසින් විවිවිධ ක්‍රම උපායන් භාවිත කරමින් මෙම පැහැර ගැනීම් සිදුකර ඇති බව මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇත. කොළඹ, වත්තල, කොටහේන, දෙහිවල හා කටුනායක යන ප්‍රදේශවලදී පුද්ගලයන් 11 දෙනෙකු මේ ආකාරයට පැහැරගෙන ගොස් ඇත. පසුව එම පුද්ගලයන් ත්‍රිකුණාමලය ‘ගන් සයිඩ්’ නම් සිර මැදිරිවල නීති විරෝධීව රහසිගතව රඳවා ගනිමින් අතුරුදහන් කර තිබේ. ඔවුන් එහි රඳවා තබාගෙන සිටි සමයේ ශ්‍රී ලංකා නාවික නෞකා තටාකාංගණ ආයතනයේ බුද්ධි නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත්තේ මේ වන විට කොමදෝරු ධූරයේ කටයුතු කරන සුමිත් රණසිංහය.

ඩී. කේ. පී. දසනායක මේ අහස පොළොව නුහුළන අපරාධයට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳවද විස්තර රැසක් හෙළි වී ඇත. කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා කඳවුරේ සිටියදී රජිව් නාගනාදන් තමන් රඳවා සිටින ස්ථානය හා ඒ අසල නවතා ඇති වාහන පිළිබඳ විස්තරයක් සිය මවට පවසා ඇති අතර කපිතන් දසනායකගේ H.P. 8987 දරන මෝටර් රථයේ විස්තර ද ඔහු එසේ හෙළි කර ඇත. රජිව්ට එසේ කළ හැක්කේ ඩී. කේ. පී. දසනායක ඔහු රඳවා සිටි ස්ථානයට පැමිණි නිසා හෝ අවට සිටි පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව විය යුතුය. මේ අතර සම්පත් මුණසිංහ ද අපරාධ පරීක්ෂකයන් වෙත ලබාදුන් තම ප්‍රකාශයේදී සඳහන් කර තිබුණේ වසන්ත කරන්නාගොඩ, හිටපු නාවික හමුදාපතිවරයා දෛනිකව පවත්වන ලද පැය 24 හි ප්‍රගති සමාලෝචන රැස්වීමකදී දෙහිවලදී පැහැර ගැනීමකට ලක්වූ තරුණයන් ‍පස්දෙනා පිළිබඳව එවකට සිටි නාවික හමුදාපතිවරයාව, දසනායක විසින් දැනුවත් කළ බවය. මේ අතර අරිප්පු ප්‍රදේශයේ සිට අමලන් ලියෝන් පිළිබඳ ඒ. එම්. අශෝක මහේෂ් කුමාර නම් නාවික හමුදා නිලධාරියා සම්බන්ධතා පවත්වා ඇත්තේ ඩී. කේ. පී. දසනායකගේ අධීක්ෂණය යටතේය. අශෝක් මහේෂ් කුමාර, සම්පත් මුණසිංහ යටතේ සිටි නිලධාරියකු වුවද තම මෙහෙයුම් කටයුතු සඳහා නාවික හමුදාපතිවරයාගේ ආවේක්ෂණ සංචිතයේ නාවිකයන් ද දසනායක සිය මෙහෙයුම් කටයුතු සඳහා යොදාගත් බව ඉන් හෙළි වෙයි. අමලන් ලියෝන් හා ඔහුගේ පුත්‍රයාව පැහැර ගැනීමෙන් පසුව ඒ ගැන දසනායක විස්තර දැන සිටි බව මේ වන විට පරීක්ෂකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

නාවික හමුදාවට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ කිසිදු බලයක් නැත. එබැවින් පුද්ගලයන් එකළොස් දෙනෙකු නීති විරෝධි ලෙස රඳවා තබා ගනිමින් ඔවුනගේ ඥාතින්ගෙන් කප්පම් මුදල් ඉල්ලමින්, එසේ ලබා ගනිමින් ඔවුන්ව අතුරුදහන් කරමින් මේ සිදුකර ඇත්තේ බරපතළ වරදකි. ඔවුන්ව ඝාතනය කර නොමැති බවට අවම හෝ සැකයක් දැන් නොමැති තරම්ය. කනගාටුදායක කරුණ වනුයේ මෙම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් මේ පුද්ගලයන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හෝ අපරාධයකට සම්බන්ධ නොමැති පුද්ගලයන් බව නාවික හමුදාව හැර අන් සියලු අංශයන් හා කාර්යාංශ මඟින් දැනුම් දී තිබීමය.

එවැනි පසුබිමක මෙම පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයන් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වී ඇත්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුම් නොදෙන්නේ කුමන පදනමකින් ද යන්න ගැටලු සහගතය. නිල ඇඳුමට මුවා වී තක්කඩි වැඩ කළ මෙවැනි අපරාධකරුවන් බේරා ගැනීම වෙනුවට, පැහැදිලි අධිකරණමය ක්‍රියාවලියක් තුළ ඔවුනට දඬුවම් පැමිණ වීමට කටයුතු කිරීම රණවිරුවන්ට කරන අපහාසයකට වඩා ඉතිරිව සිටින සැබෑ රණවිරුවන්ට කරන සැබෑ ගෞරවයක්ම වන බව අවසාන වශයෙන් ලියා තැබිය යුතුය.
චාමර ලක්ෂාන් කුමාර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති මිනීමරුවෝ රණවිරුවෝ නොවෙති
රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති මිනීමරුවෝ රණවිරුවෝ නොවෙති
http://ift.tt/2eCWxZh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_808.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_808.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy