ජනවාරි 08 වැනිදා ආණ්ඩුවට සහය පල කළ පාර්ශව ආණ්ඩුව ගැන බරපතල කලකිරීමට ලක්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද ස...
ජනවාරි 08 වැනිදා ආණ්ඩුවට සහය පල කළ පාර්ශව ආණ්ඩුව ගැන බරපතල කලකිරීමට ලක්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.
එම තත්ත්වය ඉදිරියට තවත් වර්ධනය වීමේ ඉඩකඩක් ඇත බවත් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට බලපෑමක් කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට ගියහොත් සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයින් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නව ජාතික බලවේගයකින් මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් ඔහු අවධාරණය කළේය.
ඒ අනුව එජාප විරෝධීන් ඇතුළු සිංහල, දෙමල, මුස්ලිම් සියලු ජාතීන් නියෝජනය කරන නව ජාතික බලවේගයකින් වෙනම ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුරුණෑගලදී සිය 65 වන සංවත්සරය සමරද්දී එම පක්ෂයේම ඉහල පෙළේ සාමාජිකයන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රථම ආසන බල මණ්ඩලය පිහිටුවන අවස්ථාවට එක්ව සිටියහ.
ඒ අනුව හක්මණ අසනයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බලමණ්ඩලය ඌරැබොක්ක සමුකිරණ රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
එක්සත් ජනතා නිදහස් සංධානයේ මධ්‍යම කාරක සභාවෙන් නෙරපන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ සහ මහින්ද යාපා අබේවර්ධන ඇතුලු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රැස්වීමට සහභාගි වී සිටියහ.
COMMENTS