මට්‌ටක්‌කුලිය සමිට්‌පුර ප්‍රදේශයේදී පුද්ගලයන් 04 දෙනකු වෙඩි තබා ඝාතනය කළ රොෂාන් නමැත්තා විසින් මෙහෙයවූ සන්නද්ධ කල්ලිය කොළඹ නගරය අතහැර පලාග...
මට්‌ටක්‌කුලිය සමිට්‌පුර ප්‍රදේශයේදී පුද්ගලයන් 04 දෙනකු වෙඩි තබා ඝාතනය කළ රොෂාන් නමැත්තා විසින් මෙහෙයවූ සන්නද්ධ කල්ලිය කොළඹ නගරය අතහැර පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම සිව් මිනිස් ඝාතනය සඳහා රොෂාන් නමැති හෙරොයින් ජාවාරම්කරු ඇතුළු 06 දෙනකු සම්බන්ධ වී සිට ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
කොළඹ නගරය අතහැර පලාගොස් සිටින මෙම සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය සමඟ පොලිස් කණ්‌ඩායම් 03ක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන 24 හැවිරිදි රොෂාන් නමැත්තා මීට මාස 06 කට උඩදී හෙරොයින් තොගයක් සමඟ කොළඹ උතුර දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු මොහු මාස 06 තිස්‌සේ රක්‌ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඇපමත මුදාහැර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදාය.
රොෂාන් ඇතුළු සන්නද්ධ කල්ලිය සිදුකළ වෙඩි තැබීමෙන් මරුමුවට පත් වූ චුටි උක්‌කුං නමැත්තා ද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකි.
මීට වසර කිහිපයකට පෙර මට්‌ටක්‌කුලිය පොලිසිය වටලා ප්‍රහාර එල්ල කර අවි ආයුධ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නායකත්වය දුන් බවට චුටි උක්‌කුං වෙත චෝදනා එල්ල වී තිබූ බව පොලිසිය පවසයි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්‌ඩායම් තුනක් මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ මෙහෙයවයි.
COMMENTS