ජාතික අක්ෂි රෝහල් බිම් මහලේ වෙනදාට නොමැති පෝලිමක් දක්නට ලැබුණේ පසුගිය සතියේය. හද්දා පිටිසර ගම් නියම්ගම්වලින් බස්රථ පුරවාගෙන එන මහලුවියට ...
ජාතික අක්ෂි රෝහල් බිම් මහලේ වෙනදාට නොමැති පෝලිමක් දක්නට ලැබුණේ පසුගිය සතියේය. හද්දා පිටිසර ගම් නියම්ගම්වලින් බස්රථ පුරවාගෙන එන මහලුවියට පත් වූ අම්මලා තාත්තලා අතර තලත්තෑනි වයසේ පසුවන්නන්ද ඒ පෝලිමේ අතරින් පතර දක්නට ලැබුණේය. මේ දිගු පෝලිමේ රැඳී සිටි සියලු දෙනාම දියවැඩියා රෝගයට ගොදුරු වූවන් බව අප කළ සොයා බැලීමේදී හෙළි වූවේය.
ජාතික අක්ෂි රෝහලේ ප්‍රධාන දොරටුව අබියස සිට ආරම්භ වූ මෙම දිගු පෝලිම රෝහලේ බිම්මහලේ පිහිටි කාමර අංක 30 දක්වා දිව යන්නේය. අංක 30 කාමරයේ සිටින හෙද නිලධාරීනියන් දෙදෙනෙකි. ඔවුහු රෝගීන්ගෙන් ප්‍රශ්න කීපයක් අසති. ඔවුන්ට දියවැඩියා රෝගයට ගොදුරු වී කොපමණ කාලයක්ද? ඒ සඳහා ලබා ගන්නා ඖෂධ මොනවාද? දියවැඩියාව හේතුවෙන් ඇති වී තිබෙන සංකූලතා කවරේද? දැනට රුධිරයේ පවතින සීනි ප්‍රමාණය කොපමණද? ආදී වශයෙනි. අසන ලද ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරුවලට අනුව ඔහු දියවැඩියා රෝගියෙක්ද නැතිද යන බව හෙද නිලධාරීනියට හඳුනා ගත හැකි වන්නේය.
මෙසේ හඳුනාගන්නා දියවැඩියා රෝගීන්ව ලියාපදිංචි කිරීම ඒ මොහොතේදීම සිදු කරන්නේය. මෙසේ ලියාපදිංචි කළ රෝගීන්ව කාමරය තුළ ස්ථාපිත කර තිබෙන රෙටිනල් කැමරා උපකරණය වෙත යොමුකර ඇස් පරීක්ෂා කරන්නේය.
වෙනදාට දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට පෙර ඖෂධමය දියරයක් ඇස තුළට ඇතුළත් කර විනාඩි විස්සක් පමණ ඉක්ම ගිය පසුව අක්ෂි වෛද්‍යවරයෙකු රෝගියාගේ ඇස් විශේෂිත උපකරණයක් මගින් පරීක්ෂා කරන්නේය. එම පරීක්ෂා කිරීම්වලට අනුව මෙම දියවැඩියා රෝගියාගේ ඇස්වලට ඇති වී තිබෙන රෝගී තත්ත්වය කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමට හැකි වේ.
මෙහිදී ඇසේ සුද ඇති වී තිබෙන්නේද? ඇසේ ලේ නහරවල යම් ආබාධ තත්ත්වයන් මතු වී තිබෙන්නේද? ඇස්වල පෙනීමේ යම් අඩුවක් ඇති වී ඇත්ද? යනාදී වශයෙනි. ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකි වන්නේය.
මෙසේ විනාඩි විස්සක් පමණ එක් රෝගියකු වෙනුවෙන් වෙන් කරන වෛද්‍යවරයෙකුට එක් දිනකදී බැලීමට හැකි වන්නේ රෝගීන් සීමිත ගණනකි.
එහෙත් රෙටිනල් කැමරා උපකරණය වෙත යොමු කර ඇස් පරීක්ෂා කරන රෝගීන් වෙනුවෙන් ගත වෙන කාලය තත්පර කීපයකි. එම තත්පර කීපය තුළදී රෝගියාගේ ඇසේ පවතින සියලුම රෝගී තත්ත්වයන් හඳුනා ගත හැකි වන්නේය. එසේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව ප්‍රතිකාර ආරම්භ කරනුයේ වෛද්‍යවරයා දුරකථනය මගින් රෝගියාට දැනුම් දීමෙන් අනතුරුවය. එය දින, සති හෝ මාසයක් විය හැකිය.
දින සති මාසයක් වුවද රෝගීන්ට ඉක්මනින් ප්‍රතිකාර කිරීමේ හැකියාව ලබා ගැනීමට හැකි වී ඇත්තේ එක්තරා විදේශීය පෞද්ගලික සමාගමක් විසින් ජාතික අක්ෂි රෝහල වෙත සති කීපයකට පමණක් නොමිලේ ලබා දී තිබෙන රෙටිනල් කැමරා උපකරණය හේතුවෙනි. මෙම යන්ත්‍රය ලක්ෂ 170ක් පමණ මිලකින් යුක්ත වනු ලැබේ. මෙම උපකරණය ලබන 15 වෙනිදා වන තෙක් පමණක් රෝහලේ තිස්වන කාමරය තුළ රඳවා තබනු ලැබේ. උදේ 8.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීම ආරම්භ කරනු ලැබේ.
මෙවැනි අධිතාක්ෂණ උපකරණයන් රජයේ රෝහල් වෙත ස්ථාපිත කිරීමේ හැකියාව පවතින්නේ නම් අසරණ රෝගී ජනයාට මහඟු සේවාවක් ලබා ගැනීමට හැකි වන්නේය. එහෙත් මෙවැනි උපකරණයක් පෞද්ගලික අංශයේ රෝහලක ස්ථාපිත කළහොත් එයින් රෝගීන්ගෙන් විශාල ලෙස මුදල් අය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වීම නිරන්තරයෙන්ම සිදු වන්නේය.
මේ අනුව අසරණ රෝගීන්ට සෙත සැලසීම සඳහා දානපතියෙක් හෝ පරිත්‍යාගශීයෙක් සිටින්නේ නම් එසේ නොමැති නම් දේශපාලනඥයෙක් හෝ ඉදිරිපත්ව මෙවැනි වටිනා උපකරණයන් අපගේ රජයේ රෝහල් පද්ධතියට එකතු කළ හැකි නම් අසරණ රෝගීන්ට සිදුවන සෙත කියා නිම කළ නොහැකිය.
COMMENTS