දරුවකුගේ මරණයෙන් කෝපයට පත්වූ දෙල්තොටවත්ත ගම්වාසීන් පිරිසකගේ පහරදීමකින් දැඩි ලෙස හානි සිදුවූ ගලහ ප්‍රාදේශීය රෝහල ඊයේ (29) සිට තාවකාලිකව වසා...
දරුවකුගේ මරණයෙන් කෝපයට පත්වූ දෙල්තොටවත්ත ගම්වාසීන් පිරිසකගේ පහරදීමකින් දැඩි ලෙස හානි සිදුවූ ගලහ ප්‍රාදේශීය රෝහල ඊයේ (29) සිට තාවකාලිකව වසා දැමූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ශාන්තිනී සමරසිංහ මහත්මිය පැවසුවාය.
මෙහි සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනා පළාත් සෞඛ්‍ය කාර්යාලයට මාරුකර ඇති අතර සෙසු කාර්ය මණ්ඩලය ගලහ රෝහලට ආසන්න දෙල්තොට රෝහලට අනුයුක්ත කර ඇත.
දෙල්තොටවත්ත ගම්වාසීන්ගේ පහරදීමෙන් වෛද්‍යවරුන්ගේ මෝටර් රථ දෙකකටද අලාබ හානි සිදුවී තිබිණි. මියගිය දරුවාගේ මවුපියන් චෝදනා කර සිටියේ දරුවාට ප්‍රතිකාර නොකිරීම නිසා ඔහු මියගිය බවය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙල්තොටවත්ත පදිංචි සංකර් සජී නමැති දරුවෙකි.
දහසකට අධික පිරිසක් රෝහල වටකර පහරදීම නිසා ඇතිවූ කලබලය මැඩපැවැත්වීමට අවට පොලිස් ස්ථාන දහයකින් පමණ භට පිරිස් කැඳවනු ලැබූ අතර විශේෂ කාර්ය බළකාය සමග කැරලි මර්දන හා ජල ප්‍රහාරක රථද කැඳවා තිබුණි.
දරුවාගේ පියා වන එස්. සංකර් මහතා පැවසුවේ රෝහලට ඇතුළත් කළ දරුවා පිළිබඳව වෛද්‍යවරුන් නිසි සැලකිල්ලක් නොදැක්වූ බවය. වෛද්‍යවරුන් පාටියක් ගැන කතා කරමින් සිටින විට දරුවා පේරාදෙණිය රෝහල වෙත ගෙන යාමට ගිලන් රථය ඉල්ලුවද එය ද ඉටු නොවූ නිසා ත්‍රිරෝද රථයකින් දරුවා පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය බවත් ඒ වන විට දරුවා මියගොස් සිටි බවත් සංකර් මහතා කීය.
අනතුරකින් තුවාල වූ දෙදෙනෙකු ගිලන් රථයෙන් පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය බව වෛද්‍යවරුන් පැවසුවද එය තම දරුවාගේ සිද්ධියට පසුව ඇතිවූ දෙයක් බවද ඔහු පැවසීය.
නොසන්සුන් වූ පිරිස පැය 08ක් පමණ රෝහල වටලා සිටිමින් වෛද්‍යවරයා මාංචු දමා පොලිසියට රැගෙන යන ලෙසත් සේවයෙන් ඉවත්කරන ලෙසත් ඉල්ලමින් කලහකාරී ලෙස හැසිරුණහ.
මෙම කලබලය නිසා රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා පැය අටක් පමණ රෝහලේ කාමරයක හිරවී සිටියේය. පොලිසිය විරෝධතාවකරුවන්ට කොතෙක් කරුණු පැහැදිලි කර දුන්නද එය ඉටු නොවුන නිසා ඇඳිරි වැටීගෙන ඒමත් සමඟ උපක්‍රමයක් ලෙස වෛද්‍යවරයාට පොලිස් ඇඳුම් අන්දවා ඔහු පොලිස් කැබ් රථයකින් පිටතට රැගෙන යාමට කටයුතු යොදනු ලැබීය. මෙය දැනගෙන නොසන්සුන්වූ පිරිස පාලනය කිරීමට කඳුළු වායු උණ්ඩයක්ද භාවිතා කළ අතර වෛද්‍යවරයා නිරුපද්‍රිතව රැගෙන යාමට කටයුතු යොදනු ලැබීය.
රාත්‍රිය එළඹීමත් සමඟ රැස්ව සිටි පිරිස රෝහලට සහ පොලිස් නිලධාරීන්ට නැවතත් ගල්මුල් ප්‍රහාර එල්ල කළ අතර ගල් ප්‍රහාරයකට ගොදුරු වූ එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබීය. කෙසේ වෙතත් රාත්‍රි 8.00 පමණ වනවිට තත්ත්වය සමනය කිරීමට පොලිසිය සමත් විය.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (29) දින පේරාදෙණිය රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබුණි. ගම්පොළ කොට්ඨාස බාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණයක්ද ආරම්භ කොට ඇත.
සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා ශාන්තිනී සමරසිංහ මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
"මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අතර සිදුකළ මූලික පරීක්‍ෂණයේදී අනාවරණය වූයේ මෙම දරුවා රෝහලට රැගෙන ඒමට පෙර පෞද්ගලික වෛද්‍යවරයකු වෙත යොමුකර ඇති බවයි. දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට තිබූ වලිප්පු තත්ත්වය අනුව ඒ සඳහා වූ ඖෂධ ලබාදී එහි ක්‍රියාකාරිත්වය ලැබෙන තුරු සිටියදී මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතවී තිබෙන්නේ දරුවාගේ භාරකරුවන්ගේ අනවශ්‍ය කලබලය නිසයි."
මෙම රෝහලේ වෛද්‍යවරුන් මාරුකර හැරීමෙන් පසු අලුතින් වෛද්‍යවරුන් එහි වැඩ භාරගැනීමේ ගැටලුවක්ද මතුවී තිබුණත් ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බවද වෛද්‍ය ශාන්තිනී සමරසිංහ මහත්මිය පැවසුවාය.
COMMENTS