බුද්ධිමත්ව කල්පනා කර බලා ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධි...
බුද්ධිමත්ව කල්පනා කර බලා ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පවතින තත්ත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ නොදිය යුතු අතර පළමු නිදහස් ආණ්ඩුවට සමානව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවතත් මෙරට තුළ ගොඩ නැංවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ රට අස්ථාවර කිරීමට මාන බලන දේශීය හා විදේශීය බලවේග රට බෙදා වෙන් කිරීමට ගෙනවිත් ඇති ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබා ගැනීමේ අරමුණෙන් රට තුළ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටින බැවින් මෙවන් අවස්ථාවල ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වේ.
එම නිවේදනය වැඩිදුරටත් මෙසේ වේ.
මාධ්‍ය නිවේදනය
සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම
දිගන නගරයේ සිංහල ලොරි රථ රියදුරු මහතෙකුට මුස්ලිම් පිරිසක් විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් ඔහු රෝහලේදී මිය යාම නිසා එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගණනාවක් හටගෙන ඇත. මෙකී මිනීමැරුම සම්බන්ධයෙන් පොලීසිය විසින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන ද ඔවුන් ඝාතනය සිදුකළ අය හැටියට තවම හදුනාගැනීමේ පෙරෙට්ටුවකින් තහවුරු කරගෙන නැත. නීතියේ උපරිම බර මේ සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව යෙදිය යුතු වේ. එමෙන්ම ආණ්ඩුව විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලට ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතුය. දිගන ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මුස්ලිම් තරුණයෙකුගේ මෘත දේහයක් විනාශ වූ නිවසකින් හමුවී තිබේ. දැන් ඝාතන දෙකක් සිදුවී ඇත. ආණ්ඩුව රටපුරා හදිසි නීතිය ද පනවා ඇත.නමුත්නුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවය මේ නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විටත් තවම සමුපූර්ණයෙන්ම පහව ගොස් නැත. සතියක් ඇතුලත සිංහල හා මුස්ලිම් පිරිස් අතර ඇතිවූ දෙවන ගැටුම මෙයයි. මීට දින කිහිපයකට කලින් අම්පාර නගරයේ ද ගැටුමක් ඇති විය. ඊට මාස කීපයකට කලින් ගිංතොට සිද්ධිය ඇතිවූ අතර, 2017 අවුරුද්ද ඇතුළත වෙනත් තැන්වලද තවත් ගැටුම් සිදුවිය.
මෙවැනි ගැටුම් වැලැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. බොහෝවිට නොසන්සුන්තාවය පැතිර යන්නේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූවාය යන හැගීම නිසාය. ජනවර්ග දෙකක පිරිස් අතර ගැටුමක් හෝ ආරවුලක් ඇතිවුවහොත් පොලීසිය ක්ෂණිකව හා තීරණාත්මක ලෙස එයට මැදිහත් විය යුතුය. කුපිත වූ පිරිස් රංචු ගැසී අදාළ සිද්ධියට සම්බන්ධයක් නැති පුද්ගලයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදීම හා සාමූහික දඬුවම් පැමිණවීම වැලැක්වීම ද මෙහිදී අත්‍යාවශ්‍යවේ.පොලීසිය මෙවැනි අවස්ථාවලදී නිසි ලෙස මෙහෙයවීම ආණ්ඩුවේ යුතුකම වන්නේය. මේ රට අස්ථාවර කිරීමට මාන බලාගෙන සිටින දේශීය හා විදේශීය බලවේග මේ රට අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකට බෙදා වෙන් කිරීමට ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් මේ රටේ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටී. මේ සිදුවන දේවල් දෙස ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැලකී සිටින මෙන් මම මේ රටේ සියලුම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
අප නිදහස ලැබූ මුල් වකවානුවේදී සිංහල දෙමළ හා මුස්ලිම් නායකයන් මේ රට සමගියෙන් පාලනය කළේය. උතුරේ දෙමළ නායක ජී.ජී. පොන්නම්බලම් මහතාට සේනානායකවරුන් සමඟ ඉතා කුළුපඟ සම්බන්ධතාවයක් තිබුණි. 1950 ගණන්වල මැද සිට ජාතිවාදය සහ බෙදුම්වාදය උතුරේ දෙමළ දේශපාලනයට ඇතුළුවීම නිසා ඒ යුගය අවසන් විය. පසුගිය දශකවලදී මේ රටේ මුස්ලිම් නායකත්වය ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අනුගත වී සිටියේය. එජාපයේ ඒ.සී.එස්. හමීඩ් හා එම්.එච්. මොහොමඩ් සහ ශ්‍රිලනිපයේ බදියුදීන් මොහොමඩ් හා අලෙවි මවුලානා වැනි නායකයන් අපට මෙහිදී සිහිපත් වේ. මොවුන් පාර්ලිමේන්තුවට පත්වූයේ මුස්ලිම් මෙන්ම සිංහල ඡන්දද ලබාගෙනය. ඒ කාලයේ දී සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මේ ආකාරයේ ගැටුම් නොතිබුණි.
නමුත් 1980 ගණන්වල අග සිට මුස්ලිම් ප්‍රජාවේ කොටසක්ද ජාතිවාදී දේශපාලන පක්‍ෂවලට අනුගතව තිබේ. මේ නිසා නොයෙක් දේශීය හා විදේශීය බලවේගවලට තම ඒජන්තවරුන් ලවා සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් ඇතිකිරීම පහසු වී ඇත. අද මේ ඇතිවන සිංහල - මුස්ලිම් ගැටුම් මෑත කාලීන ප්‍රපණ්චයකි. 2012 වසර වන තෙක් සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මෙවැනි ගැටුම් නොතිබුණු බව කාටත් මතක ඇතැයි මම සිතමි. අද යහපාලන ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් එදා මගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පටන්ගත් මේ ක්‍රියාදාමයට දැන් වෙනම ජීවයක් ආරූඩ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අද මේ රටේ ජන කොටස් අතර අවිශ්වාසය එන්න එන්නම වර්ධනය වෙමින් පවතී.
උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වුවද දෙමළ ජනතාවගෙන් අති බහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහල ජනතාව අතරය. එමෙන්ම නැගෙනහිර පළාතේ සෑහෙන මුස්ලිම් ජනගහනයක් සිටිය ද මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ නැගෙනහිර පළාතෙන් පිට සිංහල හා දෙමළ ජනතාව අතරය. අප දැනට අත්දකිමින් සිටින්නේ මහපොළොවේ දක්නට තිබෙන ඒ යථාර්ථයත් ජාතිවාදී දේශපාලනයත් අතර ඇති නොගැලපීමයි. වෙනත් ආගම් හා ජාතීන්වලට අයත් ජනකොටස් සතුරන් හැටියට පෙන්නුම් කිරීම ජාතිවාදී දේශපාලනයේ පදනමයි. අද මේ රටේ ඇතිවී තිබෙන්නේ වෙනස් ආගම් හෝ ජාතිකත්වයන් සහිත පුද්ගලයන් අතර ආරවුලක් හෝ ගැටුමක් ඇතිවුවහොත්, එය ප්‍රදේශය පුරාම පැතිර යන ජාතිවාදී කෝලාහලයක් බවට පත්වීමේ ප්‍රවණතාවයකි.
මේ තත්ත්වයට දිගින් දිගටම පැවතීමට ඉඩ හැරීමට අපට නොහැක. අපේ පළමු නිදහස් අණ්ඩුවට සමානව සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මේ රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇත. දශක ගණනාවක් පුරා මේ රට තුළ පතුරුවා ඇති ජාතිවාදී වස විස නිසා මෙය කිසිසේත්ම පහසු කාර්යයක් නොවනු ඇත. නමුත් මෑතකදී පවත්වනු ලැබූ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ජාතිවාදී රැල්ල ආපස්සට හැරවීමට යම්කිසි අවකාශයක් විවර වී ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන්දේශමාමක සිංහල,දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් හාසංවිධානසමඟ ඉදිරියේදී සංවාදයක් ඇතිකර ගැනීමට මම අදහස් කරගෙන සිටිමි.
COMMENTS