එළැඹෙන උත්සව සමය ඉලක්‌ක කරගෙන ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළෙඳසල්" ඇති කි...
එළැඹෙන උත්සව සමය ඉලක්‌ක කරගෙන ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළෙඳසල්" ඇති කිරීමටත් එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්‌සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ වර්ග 08 ක් ඇතුළත් සහන මල්ලක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
මේ වනවිට වෙළෙඳපොළෙහි මිල ඉහළ ගොස් ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ කිහිපයක්, සාමාන්‍ය වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයෙන් පරිබාහිරව එහි පිරිවැයට අනුව සහන මිලක් යටතේ සාමාන්‍ය ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයක් වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ සහ අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වය ඇතිව පසුගිය 12 වැනි දින අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණවලට එළැඹිණි.
පෞද්ගලික සුපිරි වෙළෙඳසල් ජාලය හා ලංකා සතොස අලෙවිසල් මගින් එම සහන මල්ල පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකි වන පරිදි බෙදාහැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටද අපේක්‍ෂිතය.
මෙම යාන්ත්‍රණය ඔස්‌සේ භාණ්‌ඩ සැපයීම, භාණ්‌ඩ ප්‍රවාහනය හා අලෙවිය සඳහා සම්බන්ධ වන සියලුම පෞද්ගලික හා රාජ්‍ය වෙළෙඳ ආයතන සඳහා සහනදායී විදුලි ගාස්‌තු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට හා විශේෂ ආදායම් බදු සහන ලබාදීමටත් රජය තීරණය කරන ලදී.
ලංකා සතොස, කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය, ලාෆ්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම, ජෝන් කීල්ස් සමාගම හා වික්‍රමරත්න පෞද්ගලික සමාගම වැනි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසල් හා ආයතන මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට මේ වනවිටත් එකඟතාව පළ කර ඇත.
COMMENTS