නොවැම්බර් 27 වනදාට යෙදුනු මහවිරු සැමරුම උතුරේ සෑම දිස්ත්‍රික්කයකම පැවත්වුනු අතර ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූ...
නොවැම්බර් 27 වනදාට යෙදුනු මහවිරු සැමරුම උතුරේ සෑම දිස්ත්‍රික්කයකම පැවත්වුනු අතර ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී පැවත්වුවේ වැසියන් 5000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.
යාපනය දිස්ත්‍රික්කයේ යාපනය සරසවිය, කොඩිකාමම්, කෝපායි ඇතුලු ස්ථාන 11 කදී මහවිරු සැමරුම් සිදු කොට ඇති අතර මෙම සැමරුම් සඳහා දේශපාලඥයින් වශයෙන් සහභාගී වී සිටියේ දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් හා වින්දන් කනකරත්තනම් ද දෙමළ ජාතික ජනතා පෙරමුනේ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් යන අය පමණි.
මුලතිව් දිස්ත්‍රික්කයේද මුලිලි වයික්කාල්, මුල්ලියාවලෙයි, විශවමඩු තේරාවිල් ඇතුලු ස්ථාන කිහිපයකදී මහවිරු සැමරුම් සිදු වූ අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන අය සහභාගී වී ඇත.
ඊට අමතරව වව්නියාව දිස්ත්‍රික්කයේද ඊච්චන්කුලම් මහවිරු සොහොන තිබූ ස්ථානයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිදු කළ අතර මන්නාරම දිස්ත්‍රික්කයේද පෙරය පන්ඩිවිරිච්චාන්, වන්නිවිලාන්කුලම් යන සුසාන භූමිවල මහවිරු සැමරුම සිදු කළ අතර මන්නාරම් මහවිරු සැමරුම් සඳහා උතුරු පලාත් කාන්තා කටයුතු අමාත්‍යවරිය වූ ආනන්දි සශිධරන් යන අය සහභාගී වී ඇත.
මේ අතර උතුරු පලාතේ ප්‍රධාන මහවිරු සැමරුම වූ කනකපුරම් මහවිරු සුසාන භූමියේ වැසියන් 5000 කට අධික සහභාගීත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන එස්. ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබීය.
මහවිරු සුසාන භූමිවල තිබූ සොහොන් ඉවත් කොට තිබූ හෙයින් සොහොන් වෙනුවට මහවිරු සැමරුමට පැමිණී සෑම වැසියෙකුම පොල් පැලයක් සිටුවීමට පියවර ගෙන තිබුණි.
මේ අතර උතුරේ පැවති මහවිරු සැමරුම් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හෝ එම පක්ෂ සාමාජිකයින්ගේ පෞද්ගලික සහභාගීත්වයන් හැරෙන්නට දෙමළ ජාතික සන්ධානය නිල පක්ෂයක් වශයෙන් සහභාගී නොවීමද විශේෂත්වයකි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS