ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැ...
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඞ්ස්මන්වරයාට පැමිණිල්ලක් කර ඇත.
අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා තේරීපත් වූ සුදුසුකම්ලාභීන් 116 දෙනා විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඔම්බුඞ්ස්මන්වරයා තීරණය කර තිබේ.
මෙහිදී විධිමත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් තෝරා ගනු ලැබූ 116 දෙනාගේ ලැයිස්තුවත් දේශපාලන හස්තයක් මගින් යොමු කර තිබූ 66 දෙනාගේ ලැයිස්තුවත් ඔම්බුඞ්ස්මන් කාර්යාලයට ලබාදීමට පැමිණිලිකරුවෝ කටයුතු කර ඇත.
සුදුස්සන් 116 දෙනෙකු තෝරාගෙන තිබියදී දේශපාලන හස්තයක් මගින් තවත් නම් ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යෑම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය අභියාචනාධිකරණයට කළ රිට් පෙස්සමක ද කරුණු සඳහන්ව තිබිණි.
සුදුසුකම්ලාභීන් විසින් මේ සම්බන්ධයෙන් මැදිහත්වන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට, විෂය බාර ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට, ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.
එම කිසිදු පැමිණිල්ලකට අදාළව මැදිහත්මක් නොවූ බැවින් පසුගියදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට පවා සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කරන්නට ඔවුහු කටයුතු කළහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා මින් පෙර පැවැසුවේ හිටපු සභාපතිනිය අදාළ ලිපි යොමු කළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව බැවින් මෙම පත්වීම් 116 මෙම මාසය ආරම්භයේම ලබා දෙන බවය. එහෙත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසුවේ පත්වීම් ගැන නැවත විමර්ශනයක් ආරම්භ කළ බවය.
මෙම පත්වීම් ප්‍රමාදයට බලපා ඇත්තේ අමාත්‍යංශයේ නිලධාරින්ට ඉහළින් කටයුතු කරන දේශපාලන හස්තයක් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම පමා කිරීමෙන් ඊට ඉඩ ලැබී ඇතැයි ද අමාත්‍යශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS