මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉද...
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.
ප.ව.3.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි.
2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් (09)දින මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.
යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවැනි විසර්ජන පනත් කෙටුම්පත මෙයයි. ඒ අනුව දෙවැනි වර කියවීමේ අයවැය වාර්තාව අද (9) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ඇත. 2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන මෙවර අයවැය මඟින් පොදු ජනතාවට මෙන්ම සමස්ථ අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදිම වෙනුවෙන් අවධානය යොමුව තිබේ.
2018 වසර සඳහා වන අයවැය කතාව අද (09) ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (10) සිට (16) දක්වා පුරා දින හයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 16 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වේ.
දෙසැම්බර් 09 දින තුන්වැනිවර කියවීමේ විවාදය ආරම්භ වන අතර සවස විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය. අයවැය ඉදිරිපත් කරන අද(09) දිනයේදි පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයින්ට පමණක් සීමාකර ඇති අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ.
තවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017.10.20 දින පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සඳහන් කළේ,ඉදිරි තුන් වසරට පරිපූර්ණ ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා. අපි වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.වාර්ෂික ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. පොහොසත් හා බලවත් ජනතාවක් මේ සංවර්ධන ක්‍රමෝපායන්හි ඉලක්කය වන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වර්ධනය කිරීමයි.ශ්‍රී ලංකාව යළිත් ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළඳ කේන්ද්‍රස්ථානය ලෙසට පත් කරවීමේ වෑයමක්. අපගේ මාතෘ භූමිය ඉහළට ඔසවා තබන මේ අභියෝගාත්මක ගමනට එක්වන ලෙසටය.
අයවැයෙන් මද්‍යසාර මිල අඩු කරයිදැයි සැකයක්.
අය-වැයෙන් රජය මද්‍යසාරවල මිල අඩුකිරීමක් හෝ තැබෑරුම් බලපත්‍ර සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට දැඩි සැකයක් පහළ වී ඇතැයි මද්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය පුබුදු සුමනසේකර පවසයි.
පළවන වාර්තා, මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ හා ඇතැම් හැන්සාඩ් වාර්තා අනුවද මේ පිළිබඳව දැඩි සැකසංකා මතුවන බව වෛද්‍යවරයා පැවසුවේය.
මද්‍යසාර සමාගම්වල කූට උපායන්:
කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න හා මුදල් ඇමැති මංගල සමරවීර කළ ප්‍රකාශද ගෙන හැර දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ මෙවැනි බරපතළ කාරණයක් පිළිබඳ යෝජනා කිසිදු අධ්‍යයනයකින් තොරව විද්වතුන්ගේ විමසීමකින් හෝ සමීක්ෂණයකින් තොරව සිදු කරන්නේ නම් සිදු වී ඇත්තේ මද්‍යසාර සමාගම්වල කූට උපායන්ට ආණ්ඩුව හසුවී ඇති බවයි.
ආණ්ඩුව මේවායේ මිල පහළ දැමීමක් හෝ බදු අඩුකිරීමක් කළහොත් සිදුවන්නේ භාවිතය වැඩිවී අලුතෙන් භාවිත කිරීමට යොමු වන්නන්ගේ ප්‍රමාණය ඉහළ යෑම, මද්‍යසාර හේතුවෙන් හටගන්නා රෝගී තත්ත්වයන්, සමාජ ප්‍රශ්න, මරණ ආදිය ඉහළ යෑම බවද වෛද්‍යවරයා කීය.
ජී. එල්. පීරිස් බියර් බද්ද :
මෙයින් රටකට කිසිදු අයුරකින් සෙතක් සැලසෙන්නේ නැති බවද මීට අන්තර්ජාතික උදාහරණයක් ලෙස පින්ලන්තය දැක්විය හැකි බවද පැවැසීය.
එරට රජය එලෙස බදු අඩුකිරීමෙන් පෙරකී සමාජ ප්‍රශ්න රැසකට මුහුණ දුන් අතර නැවත පැවැති තත්ත්වයට බදු ඉහළ දැමූවද රට යථාතත්ත්වයට පත් නොවූ බවද හෙතෙම පැවැසීය.
මේ සඳහා 1995 වර්ෂයේදී මෙරටින්ද උදාහරණ සැපයිය හැකි බවත් එදා මුදල් ඇමැති ජී. එල්. පීරිස් බියර් බදු 50%කින් අඩු කළ පසුසිදුවූයේ වසරක් යෑමට පෙර බියර් වෙළෙදාම තුන් ගුණයකින් ඉහළ යෑම බවද ඔහු පැවසුවේය.
ජනපතිව දැනුවත් කරලා :
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර හා දුම්කොළ පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික වෛද්‍ය සජීව රණවීර පැවසුවේ රජයක් කළ යුත්තේ සමාගම්වලට ලාභය වැඩිකරදීමේ ප්‍රතිපත්ති නිර්දේශ කරදීම නොවන බවයි.
රජයක් ගත යුත්තේ මිනිසුන් මරණ, රටම රෝගීන් කරන, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, සියදිවි නසා ගැනීම්, රිය අනතුරු වැඩිකරන ප්‍රතිපත්ති තීරණද නැතහොත් ඒවා අඩුකරන තීරණද යන්න සිතා බැලිය යුතු බවද ඔහු පැවසුවේය.
එසේම රජයක් පාඩු ලබමින් කරන්නට යන මෙවැනි කර්තව්‍යයකදී මීට වඩා විචක්ෂණශීලී විය යුතු බවද ඔහු කීය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දැනුවත් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජරට විශ්වවිද්‍යාලය හා ස්වීඩනයේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු කවුන්සිලය එක්වී පෙරේදා (07දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මොවුහු මේ බව පැවසූහ.
COMMENTS