සියලූම පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීම මේ වනවිට අවසන් බවත් දෙසැම්බර් 12 වැනිදාට පළාත් පාළන මැතිවරණය සදහා...
සියලූම පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීම මේ වනවිට අවසන් බවත් දෙසැම්බර් 12 වැනිදාට පළාත් පාළන මැතිවරණය සදහා නාමයෝජනා භාරදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට අත ලකුණින් තරඟ කිරීමට නියමිත බවද මහලේකම්වරයා කීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට අපේක්ෂා කරන කණ්ඩායම් සදහා තවදුරටත් අවස්ථාව පවතින බවද ඒ මහතා පැවසීය.
කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් මේ අවස්ථාවේ බෙදී අලූත් පක්ෂයකට හෝ වෙනත් කණ්ඩායමකට එකතුවීමේ වුවමනාවක් නොමැති බවද මහලේකම්වරයා කියා සිටියේය.
කිසිදු මැතිවරණයකට එජාපය සමග එක්ව තරග කිරීමේ අදහසක් නැහැ
ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත පළාත් පාලන මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් තොරව තරග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකදී ඊයේ (29) රාත්‍රී සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය සමග එකමුතුව පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා සාකච්ඡා පැවැත්වුණු නමුත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් අවංක උත්සාහයක් නොදැරුණු බව ඔහු පැවසිය.
"සාකච්ඡා පැවැත්වුණා, ඒත් ඒ අය අවංකව මේක සාර්ථක කරගන්න සාකච්ඡාවට ප්‍රවේශ වුණා කියල මට පෙන්නේ නෑ," ඔහු සඳහන් කළේය.
ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබුණ ද, කිසිදු මැතිවරණයක් එජාපය සමග එක්ව තරග කිරීමේ අදහසක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අවසන් දැනුම්දීම ජනපති සතුයි :
මේ අතර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් පවතින සාකච්ජාවල අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ වගකීම ජනාධිපතිවරයා සතු බවයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
COMMENTS