තහනම් උත්තේජක චෝදනාවකට ලක්ව පසුගිය වසරේදී ජාත්‍යන්තර පිටියෙන් තාවකාලිකව ඈත්වූ ලොව මුල් පෙළේ ටෙනිස් ක්‍රීඩිකා මාරියා ෂරපෝවාගේ නාමය ඉදිරියේ ...
තහනම් උත්තේජක චෝදනාවකට ලක්ව පසුගිය වසරේදී ජාත්‍යන්තර පිටියෙන් තාවකාලිකව ඈත්වූ ලොව මුල් පෙළේ ටෙනිස් ක්‍රීඩිකා මාරියා ෂරපෝවාගේ නාමය ඉදිරියේ තවත් දැවැන්ත චෝදනාවක් එල්ලවී ඇත. එය ෂරපෝවා ගොඩනගාගත් කීර්තිනාමයට එරෙහි සුළි කුණාටුවක් හමා යන්නාසේ ලොව පුරා මාධ්‍ය මගින් ප්‍රචලිත වෙමින් පවතී.
ඉන්දීයාවේ නිවාස හා දේපල වෙළදාමකට සම්බන්ධවී ගැණුම්කරුවන් රැවටීම හා වංචා සම්බන්ධ චෝදනාවක් ෂරපෝවාට එල්ලවී ඇත. ටෙනිස් ක්‍රීඩාවෙන් කෝටි ප්‍රකෝටි මුදල් උපයාගත් ධන කුවේරයෙකු ලෙසින් හැදින්වෙන ෂරපෝවා එම චංචාව කළාද? නොඒසේ නම් ඇයගේ නම භාවිතා කොට වෙනත් පිරිසක් එය කළේද? යන්න ඉන්දීය පොලීසිය දැන් කරුණු විමර්ශනය කරමින් සිටී.
ටෙනිස් පිටියේ දිනාගත හැකි ඉහළම සම්මානයක් වූ ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාව පස්වතාවක් දිනාගත් ෂරපෝවා විම්බල්ඩන් ඇතුළු ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වූවාය.
මේ 30 හැවිරිදි රුසියානු ජාතික සුරූපිනියගේ නමින් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ඉදිකිරීමට යෝජිත වූ ‘බැලේ බයි මාරියා ෂරපෝවා’ නම්වූ ගොඩනැගිල්ල නිවාස 129කින් යුත් තරු හතේ පහසුකම්වලින් සමන්විත ව්‍යාපෘතියකි. එහි නිවාස මිලදී ගන්නන්ගේ පහසුව වෙනුවෙන් හෙලිකොප්ටර් ගොඩ බැස්සවිය හැකි අංගනයක්, සුපිරි සමාජ ශාලාවක්, ටෙනිස් ඇකඩමියක්, රුසියානු බැලේ මධ්‍යස්ථානයක් ඇතුළු අතිරේක පහසුකම් රැසක් නිර්මාණය වන බව ප්‍රචාරය කොට තිබිණි.
‘බැලේ බයි මාරියා ෂරපෝවා’ නිවාස ව්‍යාපෘතියේ යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා නිවාස මිලදී ගන්නන් කල් ඇතිව අත්තිකාරම් මුදල් ගෙවිය යුතු බව ඉදිකිරීම් සමාගම දැනුම්දී තිබිණි. එලෙස යටිතල පහසුකම් වෙනුවෙන් අත්තිකාරම් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන දස දහස් ගණනක් ලබා ගත්තද දැන් එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බව ඉන්දියාවේ නවදිල්ලි නුවර පොලීසිය හමුවේ ගොනුවී ඇති පැමිණිල්ලෙන් කියැවේ. ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු වෙනුවෙන් ෂරපෝවා 2013 වසරේදී පස්වතාවක් ඉන්දියාවට පැමිණ ඇති බවට ද කරුණු සැලකර ඇත.
ඉන්දීය ජාතික පියූස් සිංග් නම්වූ නීතීඥවරයා කරන ලද පැමිණිල්ලක දැක්වෙන්නේ නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කළ බොහෝ ගැනුම්කරුවන් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල අත්තිකාරම් මුදල් ලබා දුන්නද සියල්ල සිහින බවට පත්ව ඇති බවය. නීතිඥවරයාගේ කරුණු දැක්වීම අනුව භවානා අග්‍රාවල් නැමැති ගැනුම්කරුවෙකු නිවාස ව්‍යාපෘතියේ යටිතල පහසුකම් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 81678ක මුදලක් ගෙවා ඇත.
එක් නිවාසයක් මිලදී ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 308000ක් ගෙවිය යුතු අතර වසර 3කදී නිවාස ගැනුම්කරුවන් වෙත පවරාදීමට එකඟවී තිබේ. එහෙත් මේ පිළිබඳ විමසීමට අදාළ නිවාස ව්‍යාපෘතිය සම්බන්ධ සමාගමට දුරකතන ඇමැතුමක් ලබා දුන්නද ප්‍රතිචාර නැති බව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
“දැන් මේ නිවාස ව්‍යාපෘතිය දැක ගන්නවත් නෑ” නීතීඥ පියුස් සිං ප්‍රකාශ කළේය.
මේ ආකාරයෙන් දේපළ වෙළෙඳාම්වලට සම්බන්ධවූ කළ එකම ජාත්‍යන්තර ක්‍රීඩිකාව ෂරපෝවා පමණක් නොවේ. ෆෝමියුලා වන් සුප්‍රසිද්ධ ක්‍රීඩක මයිකල් ෂූමාකර් ලෝක කුලුන ලෙසින් හැඳින්වෙන දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එහෙත් මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා නොවිණි.
එක් අවස්ථාවකදී අම්රපාලී නමින්වූ නිවාස දේපළ වෙළෙඳ සමාගමේ සන්නාම තානාපති ලෙස සම්බන්ධවී ඉන්දියාවේ නොයිඩාහී දැවැන්ත නිවාස ව්‍යාපෘතියකට අත ගැසූ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනීටද, ෂරපොවාට සිදුව ඇති ආකාරයේ කරදර රැසකට මුහුණදීමට සිදුවිය. පසුව දෝනී එම සමාගමේ සන්නාම තානාපතිකමින් ඉල්ලා අස් වූවේය. ඉන්දීය නායක විරාට් කෝලී සිසිල් බීම සමාගමක් සමග එක්වූ අතර එම බීම සෞඛ්‍යාරක්ෂිත නොවන බවට එල්ලවූ චෝදනාව හේතුවෙන් සන්නාම තානාපතිකමින් වහාම ඉවත් විය.
එවැනි අතීතයක් ජනප්‍රිය තරුවලට තිබෙද්දී ටෙනිස් පිටිය වර්ණවත් කළ ෂරපෝවාගේ අනාගත ඉරණම කෙබඳු එකක් ද යන්න බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිති.
COMMENTS