මෙකී රැඳෙවියන් තිදෙනාගේ උපවාසයට හේතුවී තිබුණේ ඔවුන්ට එරෙහි නඩුව අසාධාරණ ලෙස වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමය. මෙ...
මෙකී රැඳෙවියන් තිදෙනාගේ උපවාසයට හේතුවී තිබුණේ ඔවුන්ට එරෙහි නඩුව අසාධාරණ ලෙස වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමය. මෙම නඩුවෙහි චෝදනා පත්‍රය සංශෝධනය කිරීම සඳහායැයි කියමින් ඊට පෙර ද නීතිපති දෙපාර්තමේන්තුව වසර 4ක් ගත කර තිබිණි. චෝදනාපත්‍ර සංශෝධනය ලෙස අවසානයේ කර තිබුණේද ඊට ආර්. තිරුවරුල් නම් විත්තිකරු එකතු කිරීම පමණි. සුලක්ෂන් සහ ගනේශන් යන සිරකරුවන් දෙදෙනා මෙම නඩු විභාගය ප්‍රමාද කිරීමට එරෙහිව මීට පෙරද උපවාසයේ නිරත වී තිබිණි. එහෙයින් මෙය රැඳවියන්ගේ පැත්තෙන් ගත් කළ සරල එකක් නොවේ.
ගැටළුව ලඝු කිරීම
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් උතුරේ නියෝජිතයින් හා සමඟ පැවති සාකච්චාවකදී ප්‍රකාශ කර තිබුණේ මෙය අධිකරණය හා සම්බන්ධ ගැටළුවක් බැවින් එය අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්චා කර විසඳා ගතයුතු බවකි. මීට ම සමාන අදහසක් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. සුමන්දිරන් විසින් ද ප්‍රකාශ කර තිබිණි. ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙය සාක්ෂිකරුවකුගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් බැවින් මේවා අධිකරණ ක්‍රියාමාර්ග හරහා මිස උපවාස හරහා විසඳිය නොහැකි පන්නයේ කතාවකි. මෙහි පවතින දේශපාලන අඩංගුව අතහැර හුදෙක් නීතිමය ප්‍රශ්නයකට ලඝු කිරීමෙහිදී නම් උතුර දකුණ වශයෙන් දේශපාලනඥයින්ගේ වෙනසක් පෙනෙන්නට නැත.
මොවුන්ට එරෙහි නඩුවේ සිටින එකම සාක්ෂිකරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. වව්නියාව අධිකරණය හමුවේ සාක්ෂි දීමේදී ඔහුට ආරක්ෂාව සැලසීමට ආරක්ෂක අංශ අසමත් බව පිළිගන්නේ නම් එය ලැජ්ජා විය යුතු කරුණකි. යුද්ධයෙන් වසර 8කට පසුත් වව්නියාවේ ආරක්ෂාව තවමත් තහවුරු කරගැනීමට බැරි බව ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිගන්නේ නම්, එවැන්නන් නම්බුකාර ලෙස ඉල්ලා අස් විය යුතු බව අපේ හැඟීමයි. එක් සාක්ෂිකරුවකුට ආරක්ෂාව සැලසීමට බැරි තරම් ලැජ්ජා සගහත තැනකට ආරක්ෂක අංශ වැටී නැතැයි කවුරුන් හෝ කියන්නේ නම්, නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ලැජ්ජා සහගත කුමන්ත්‍රණයක යෙදෙන බව පිළිගැනීමට ද සිදුවනු ඇති.
හොරාගේ අම්මාගෙන් පේන අහන කතා
මොවුන්ට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් ද දකුණේ මාධ්‍ය විවිධ ආලවට්ටම් දමා ප්‍රකාශ කරනු පසුගිය දිනවල දැකගත හැකිවිය. ඇත්තය. මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ අත් අඩංගුවේ පසු වූ හමුදා සාමාජිකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙනි. එහෙත් චෝදනා ඕනෑම කෙනෙකුට කළ හැකිය. ගැටළුව වන්නේ චෝදනා ඔප්පු කිරීමය. මොවුන්ට එරෙහි චෝදනා ඔප්පු කර ගැනීමේ හැකියාව නීතිපති දෙපාර්තමේන්තුවට තිබීණි නම් චෝදනා පත්‍රය සංශෝධනය කිරීමටයැයි කියා වසර 4ක් කාල් ගාන්නේ නැති බව ඕනෑම කෙනෙකුට වැටහිය යුතුව ඇත. නඩුව වව්නියාවෙන් අනුරාධපුරයට මාරු කිරීමක් වුවමනා වන්නේද නැත. ශක්තිමත් සාක්ෂි තිබිණි නම් ඔවුන් මේ වන විටත් නඩුව විභාග කර අවසානය. නඩුව මෙතරම් කල් අදින්නේ, නොයෙකුත් උප්පරවැට්ටි දමන්නේ සාක්ෂි ශක්තිමත් නොවන නිසාය.
මේ කරුණු සියල්ල නොසලකා හරිමින් හුදෙක් මෙය නීතිමය කරුණක් හෙයින් නීතියෙන් විසඳාගත යුතු බව දේශපාලනඥයකු කියන්නේ නම් එය ඔහුගේ දේශපාලනයෙහි අඩුවක් විය යුතුය. නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේය. නඩු පමා කිරීම සම්බන්ධයෙන් චූදිතයා නීතිපති දෙපාර්තමේන්තුව වෙද්දී ගනුදෙනුව අධිකරණයෙන් බේරා ගැනීමට උත්සාහ කිරීම යනු 'හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්' වැනි එකකි.
චෝදනා කිරීම සහ ශක්තිමත් සාක්ෂි නැතිවීම
නැවතත් අපි චෝදනාව දෙසට හැරෙමු. එසේ හමුදා සාමාජිකයින් පිරිසක් යුධමය අවස්ථාවක දී මොවුන් විසින් ඝාතනය කළේ ම නම් එය පවා දේශපාලනික සංසිද්ධියකි. මොවුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා කළ ඝාතනයක් නොවේ. එවන් ඝාතන දහස් ගණනක් සම්බන්ධ චෝදනා එල්ල විය යුතු කරුණා අම්මාන් වැන්නන් අදටත් කිසිදු චෝදනාවකින්, නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව නිදහස් කර තිබියදී කිහිප දෙනෙකු පමණක් ඉලක්ක කරගනිමින් නඩු විසඳන්නට යාම එක් අතකින් විහිළුවකි. මේවා සහ යුධ අපරාධ චෝදනා එකට තියන උදවියට ද අපට කියන්නට ඇත්තේ මේ මොහොතේ පවතින ගැටළුව හමාර කිරීමෙන් පසුව අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් රටටම සමානව ක්‍රියාත්මක කෙරෙන සාමාන්‍ය නීතිය යටතේ (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොවේ) එවැනි සිදුවීම් ගැන සොයාබලා එක්කෝ දෙපාර්ශ්වය ම සමාව දී ගැනීම හෝ නඩු අසා දඬුවම් පමුණුවා ගැනීම කළ හැකි බවය.
එහෙත් මේ මොහොතේ පවතින්නේ නීතිය අසාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමකි. එක් අතකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) නම් දරුණු මර්ධන නීතිය ක්‍රියාත්මක කර, මිනිසුන් නිරුවත් කර දෙපයින් එල්ලා පහර දී, හිස පෙට්‍රෝල් බාල්දියේ ඔබා පහර දී, වසර ගණන් සිරගත කර තබා ලබාගත් පාපොච්චාරණ මත පමණක් පදනම් වෙමින් නඩු ඇසීමේ ක්‍රියාදාමය ය. අනෙත් පසින් අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව ජාතිවාදී පදනමින් සැකකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරයය. එකම පදනමින් ක්‍රියාත්මක වන නඩු උතුරේ අධිකරණ වලදී සාක්ෂි විභාග කිරීමේදී ඉවතට විසිවන්නේත්, දකුණේදී දඬුවම් පැමිණවෙන්නේත් එහෙයිනි. PTA යටතේ ගත් පාපොච්චාරණ මත පමණක් පදනම් වන නඩු විභාග සාධාරණයැයි කිව හැක්කේ ජාතිවාදී පදනමින් නොවේ නම් අන් කවරකින්ද ?
උතුරේ ජනතා විස්වාසය
සිරකරුවන් තිදෙනාගේ ප්‍රශ්නයට ඔබ්බෙන් පවතින දේශපාලනය දෙසට හැරෙමු. උතුරේ දෙමළ ජනතාව දකුණේ විධායක ජනාධිපතිවරයකු ගැන විස්වාසය පළ කළේ පළමු වතාවටය. ඔවුන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට ඡන්දය භාවිතා කළේ ගිවිසුම් අත්සන් කර නොවේ. තමන්ගේ ජනතාවගේ ගැටළුවලට ඔහු විසඳුම් ලබාදෙනු ඇති බවට විස්වාසයෙනි. එවිට ගිවිසුම් ඇතිවන්නේ හදවත් අතරය. එසේ හදවතින් ගිවිසුම් ඇතිකරගෙන පත් කරගත් පළමු ජනපතිවරයා ම තමන්ගේ දේශපාලන ගැටළුවලට විසඳුම් දෙනු වෙනුවට ඒවායින් පළා යන්නට උත්සාහ දරනු පෙනෙන්නේ නම් එය හදවත් බිඳීමකට මඟ පාදන්නකි. මෙතැනදී ජනපතිවරයාට එන්නේ හුදෙක් සිරකරුවන් තිදෙනෙකුගේ ඉල්ලීමක් නොවේ, ඔහුගේ පොරොන්දු ඉටුකිරීම සම්බන්ධ ලිට්මස් පරීක්ෂාවකි. හුදෙක් සිරකරුවන් තිදෙනෙකුගේ නඩුවක් පිළිබඳ ප්‍රශ්නයකට කඩිනම් විසඳුම් දීමට බැරි ජනපතිවරයෙක් තමන් දශක ගණනක් පෙළනා දේශපාලන අර්බුදයකට කෙසේ විසඳුම් දෙනු ඇතිද යන ප්‍රශ්නය දෙමළ ජනතාව හමුවේ දිග හැරෙමින් පවතී.
මසක් තිස්සේ උපවාසයෙහි නිරත වී ඉන්නා රැඳවියන් තිදෙනාගේ ජීවිත පවතින්නේ දැඩි අවදානමක බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔවුන්ට ජීවිත හානියක් වී නම් ඒ ලේ තැවරෙන්නේ රටේ විධායක ජනාධිපතිවරයාගේ දෑතෙහිය. එමෙන්ම එවන් සිදුවීමක් හරහා දෙමළ ජනතාවට දැනෙනු ඇති අපේක්ෂා භංගත්වය තවත් දශක ගණනක් රටට විඳවන්නට විය හැකි දේශපාලන ගැටළුවක් කරා වර්ධනය නොවනු ඇතැයි කාට හෝ කිව හැකිද ?
සිංහල මහජාතිවාදයට යට නොවී තීන්දු ගැනීම
එහෙයින් මේ මොහොතේ අවශ්‍ය වන්නේ සෘජු දේශපාලන මැදිහත් වීමකි. රටේ අනාගතය ගැන සිතා බලා සිහිනුවණින් යුතුව කෙරෙන දේශපාලන මැදිහත්වීමකි. මෙය හුදෙක් සිරකරුවන් තිදෙනෙකුගේ ප්‍රශ්නයක් නොවේ. සමස්ත දේශපාලන සිරකරු ගැටළුව ගත්තද එය හුදෙක් සිරකරුවන් 130කගේ පමණක් ගැටළුවක් නොවේ. මෙය සමස්ත දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළු සම්බන්ධයෙන් දකුණේ දේශපාලනය දක්වන සංවේදීතාවය පිළිබඳ ගැටළුවකි. එම සංවේදීතාවය විමසන ඉමකි. එහෙයින් කඩිනමින් දේශපාලන තීන්දුවක් ගෙන මෙම සිරකරුවන් පිරිස නිදහස් කිරීමට රජය ක්‍රියා කළ යුතුව ඇත. යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් පවා වඩා නම්‍යශීලී ලෙස කටයුතු කළ හැකි වටපිටාවක් ඉන් නිර්මාණය වනු ඇත.
පළමු කරුණ නම්, දෙමළ ජනතාවට කිසිවක් නොදෙන බවට අඬහැර පානා දකුණේ සිංහල මහජාතිවාදයට තමන් බිය නොවන බව ඔප්පු කිරීමය. ඔවුන් මේ ගැටළුව හමුවේ 'දරුණු ත්‍රස්තවාදී බිල්ලන්' මවා පාමින් සිටින අතර අනෙත් අතින් කරුණා අම්මාන් සමඟ මැතිවරණ ගිවිසුම් අත්සන් කරමින් සිටිති. කරුණා අම්මාන්ට හිමි නිදහස අප විවේචනය කරන්නේ නැත. අප කියන්නේ ඔහුට හිමි නිදහස අනිත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ටත් දේශපාලන සිරකරුවන්ටත් ලැබිය යුතු බවය. සිංහල මහජාතිවාදීන් දකුණේ ඇතිකරන සියුම් පීඩනයට එරෙහිව කෙලින් සිටගන්නට පාලකයින්ට කොන්ද පණ තිබිය යුතුය. මෛතීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් සිටින්නේ එතැන බිත්තියට හේත්තු වී ගෙනය. ඉතිහාසයක් තීන්දු වන්නේ මෙවන් සිදුවීම් වලිනි. ඔහු සමස්ත රටේ අනාගතය ගැන සිතා මේ මොහොතේ දෙමළ ජනතාව වෙත සංහිඳියාවේ දෑත අවංකව දිගු කළ යුතුව ඇත.
- රුවන් නෙළුගොල්ල
COMMENTS