ස්පාඤ්ඤයේ ධනවත්ම ප්‍රාන්තය සේම, සුප්‍රසිද්ධ බාසිලෝනා පාපන්දු පිලේ අභිමානය ද දරා සිටි සංචාරක පුරවරය වූ කැටලෝනියාව පසුගියදා ‘පන්දු කෙළින්නට...
ස්පාඤ්ඤයේ ධනවත්ම ප්‍රාන්තය සේම, සුප්‍රසිද්ධ බාසිලෝනා පාපන්දු පිලේ අභිමානය ද දරා සිටි සංචාරක පුරවරය වූ කැටලෝනියාව පසුගියදා ‘පන්දු කෙළින්නට’ පටන් ගත්තේය. එනම්, 80 දශකයේ පටන්ම සෑහනෙ තරම් විමධ්‍යගත වූ බලයක් භුක්ති විඳිමින් සිටි එය මධ්‍යම ආණ්ඩුව සමග ‘බෝල සෙල්ලමක්’ කළේය. එනම් ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් පවා නීති විරෝධී යැයි තීරණය කර තිබූ ජනමත විචාරණයක් ඔක්තෝබර් 1 වැනිදා ඔවුන් විසින් පවත්වන ලදී. ලේ වැගිරීම් සහ පොලිස් බැටන් ප්‍රහාර මධ්‍යයේ පවා කැටලෝනියානුවන්ගෙන් 90%ක්ම එහිදී කියා සිටියේ තමන්ට මධ්‍යම ආණ්ඩුවෙන් බෙදී වෙන් වී යන්නට උවමනා බවයි. කෙසේ නමුත් පසුව හෙළි වූයේ එහිදී ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සකල කැටලෝනියානුවන්ගෙන් 43%ක් පමණක් බවයි.
කැටලෝනියාවේ නායකයන්ට වෙනම පාර්ලිමේන්තුවක් තිබේ. වෙනම අගමැතිවරයෙක් ද කැබිනට් මණ්ඩලයක් ද වෙන වෙනම අමාත්‍යාංශ ද තිබේ. එය ස්පාඤ්ඤයේ ධනවත්ම සහ සුපිරිම ජනපදයකි. මේ රටේ ජනයාට කන්න-අඳින්නට-සැපෙන් වසන්නට කිසිම බැරිකමක් නැත. එසේ තිබියදීත් කැටලෝනියානු ජනරජය නමැති වෙනම රටක් ඔවුන්ට උවමනා වුණේ ඇයි? බහුතරයේ සතුට සඳහා ද? කිසිසේත්ම නැත. එය එසේ වූවා නම් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 43%න් නවතින්නේ නැත. නායකයන් බෙදුම්වාදීන් වන විට ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුවා කරති...!
වෙනම රටක් අවශ්‍ය වන්නේ බෙදී වෙන් වන්නට ය. තනිව නැගිටින්නට ය. නමුත් ඒ, පුළුවන් නම් විතරක් ය...!
කැටලෝනියානුවෝ සෑම වසරකම, මැඩ්රිඩ් අගනුවර පවත්වන සැණකෙළි සහ සංස්කෘතික උත්සවවලදී ‘මිනිස් පිරමිඩ’ (Human Pyramids) සාදති. ඒවා අලංකාර ය. සවි ශක්තියෙන් අනූන ය. එය සාමූහික බලයේ සංකේතයකි. බර දරා සිටින යටම එවුන් ඇද වැටුණොත් උඩට නැග කොඩිය උස්සන එකා ඉන්තේරුවෙන්ම බිම ඇද වැටී අත පය කඩා ගන්නා බව ඔවුහු හොඳින් දනිති. මිනිස් කුලුනුවලට ලෝක ප්‍රසිද්ධ කැටලෝනියාව, වෙනම රටක් හෝ ඊනියා ජනරජයක් ලෙස වෙන් වී ගියොත්, මින් මතු මිනිස් පිරමිඩ හෝ මිනිස් බලකොටු හදන්නට ඔවුන්ට සදාචාර යුතුකමක් නැත. මේ බව බෙදුම්වාදී කැටලෝනියානු නායකයන් නොදන්නවා යැයි නොසිතන්න. ඔවුන් ජනමත විචාරණය පවැත්වීමෙන් පසුව අනුගමනය කළේ ‘ෂේප් න්‍යාය’ කි. වෙන් වීම නීත්‍යානුකූල ලෙස ප්‍රකාශයට පත් කරන්නට ඔවුන් තදියම් වුණේ නැත. අනෙක් අතට, අන් කිසි කෙනෙක් නැතිව තනිව නැගිටින්නට ඔවුන්ට පුළුවන් නම් මව් රට වන ස්පාඤ්ඤයෙන් බෙදී වෙන් වී යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලන්නේ අසුවල් දෙයකටද...? තාත්තා එපා කියා තාත්තාව බය කර බාප්පා ළඟට යන්නට ඔවුන්ට තිබෙන උවමනාව කුමක්ද? ජනතාව අන්දවා උගුරට හොරා බෙහෙත් කෑම බෙදුම්වාදී නායකයන්ගේ ඊළඟ ලක්ෂණයයි.
කෙසේ නමුත් අලුත්ම තත්වය අනුව ස්පාඤ්ඤ අගැමති මරියානෝ රාහොයි මේ අවලස්සන සෙල්ලමට වැඩි කල් ඉඩ දෙන පාටක් නැත. ඔහු ඉදිරියේදී සෙනෙට් සභාව හරහා දැඩි තීරණයක් ගනු ඇත. ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය ක්‍රියාවට නංවමින් “නීතියේ ආධිපත්‍යය, සහජීවනය සහ ආර්ථික ප්‍රතිසාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා, කැටලෝනියවේ නීතිය හා සාමය යළි ඇති කිරීමට තමන් බලය යොදවන බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඊනියා ජනමත විචාරණය බල රහිත කරන්නට සැරසෙන බව ය. එයින් ද නොනැවතී, වත්මන් කැටලෝනියානු පාලකයන් බලයෙන් ඉවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ය! කැටලෝනියාව දැනට භුක්ති විඳිමින් සිටින ස්වයං පාලනය අහෝසි කිරීමට ඉක්මන් නොකරන නමුත් මධ්‍යයේ පාලනයට එය නැවත නතුකර ගැනීමට තමන් කටයුතු කරන බව ය.
ස්වාධිපත්‍යය, ස්වයං පාලනය, ස්වතන්ත්‍රතාවය, ස්වරාජ්‍යය, ස්වෝත්තමවාදය... මේවා බෙදුම්වාදීන් සහ අන්තවාදීන්ගේ ප්‍රියතම වදන් ය. බලය බෙදීම, බලතල බෙදාහැරීම, බලය විමධ්‍යගත කිරීම, ෆෙඩරල්.. මේවා ඔවුන්ට වහකදුරු ය. නැවතත්... පුළුවන් නම් පමණක් ය..!
ඇත්තම කතාව නම් කැටලෝනියාවට වඩා කුර්දිස්ථානයේ තත්වය බරපතළ ය. එතැන පැහැදිලිවම ප්‍රශ්නයක් තිබේ ඉරාන-ඉරාක යුද්ධයේ අවසන් සමයේදී, එනම් 1988 මාර්තු මාසයේ ඉරාකයේ සදාම් හුසේන්, ඉරාකයේ පිහිටා තිබූ ‘ඉරාක කුර්දිස්ථානයේ’ ගම්වලට මස්ටඩ් ගෑස් ගැසුවේය. එය සිදුවුණේ හලාබ්ජා කුර්දි නගරය ඉරාන හමුදාවට නතු වී පැය 48කට පසුව ය. මේ මහා සංහාරයෙන් දෙදහසකට අධික කුර්දි ජාතිකයන් පිරිසක් මිය ගිය අතර තවමත් මස්ටඩ් වායුව ආඝ්‍රාණය කර දිවි බේරාගත් අයගෙන් ඉපදෙන දරුවන් පිළිකා රෝගීන් ය. ඉරාකය දිනුවේය. කුර්දිවරු හලාබ්ජා නගරයට සදහටම සමුදුන්හ. ඔවුන් තමන්ට වෙනම රටක් ඉල්ලා සිටියේ ඉන් පසුව ය. ඉතා සාධාරණ ය. ඒ සාධාරණ සටන වෙනුවෙන් අදත් ඉරාකයේ කිර්කුක් නගරයේ සටන් ය. ඉරාක හමුදාව අද මේ සටන් වදින්නේ අයිසිස් සංවිධානය සමග හෙම නොවේ. කුර්දි පෙෂ්මග්රා හමුදාව සමග ය. මව් රටක දරුවන් මව් රටෙන් පන්නා දැමූ විට මෙවැනි දේ සිදු වේ.
බෙදුම්වාදය ලෝකය පුරාම මේ වන විට ‘ටේරන්ඩ්’ එකකි. එනම් ප්‍රවණතාවයකි. බ්‍රෙක්සිට් නිසා විඳවන බ්‍රිතාන්‍යය තුළ පවා බෙදුම්වාදය දැන් නව ජවයකින් පැතිරී යයි. එය කෙතරම් ආරෝපිත තත්වයක් ද යත්” සසෙක්ස් ප්‍රාන්තයේ ‘කැන්වි අයිලන්ඩ්’ නම් පුංචි දූපතක් තිබේ. ඒ දූපතේ ජනගහනය තිස් පන්දහසකට වැඩි නැත. දැන් උන් පවා වෙනම රටක් ලෙස නිදහස ඉල්ලති2 උන්ගේ සටන් පාඨය ‘යර්ස් වී-කැන්වී’ ය! මේ දූපතට ඉහළින් දත නියවමින් බෙදුම්වාදී රකුසා බලා සිටින්නේ පස්සා පැත්තෙන් හිනා වෙමින් ද විය යුතුය. !!
ස්කොට්ලන්තයේ නිකොලා සර්ජන් ද එංගලන්තයෙන් වෙන් වී වෙනම රටක් ලෙස බෙදී වෙන්වූ පසුව යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලුවේය. බෙදී වෙන් වී තනිව නැගිටින්නට පුළුවන් නම්, යුරෝපා සංගමයට හේත්තු වන්නේ ඇයි? මේ සියලුම ගෝලීය උදාහරණවලින් පෙනී යන්නේ ජනතා නායකයන් යැයි කියාගන්නා අයගේ පොලිටිකල් හිපොක්‍රසි හෙවත් දේශපාලන කුහකත්වය මිස අන් දෙයක් නොවේ.
මේ සියල්ලටම වඩා බරපතළම කතාව නම් මේ වන විට ලංකාවේ තත්වය කැටලෝනියාව සහ කුර්දිස්ථානයේ තත්වයටත් වඩා බරපතළ බව ය. ලංකාව තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළේ ‘විලි ලැජ්ජාවේ-සන්තෝසේ බෑ’ නමැති අවසන් සටනෙනි. එහිදී මිය ගිය ගණන තවම නොදනී. ‘මානුෂීය මෙහෙයුම’ යැයි ගිරිය පුප්පාගෙන එදා රාජපක්ෂලා කෑ ගැසුවත් ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය යන දෙපාර්ශවයම උතුරු නැගෙනහිර සිවිල් වැසියන්ව මිනිස් පළිහක් ලෙස යොදාගත් බව - ලොවම දනී-අප නොදනී!!
එනිසා මේ ලියන මොහොත වන විටත් අවසන් සටනේදී මළමිනී කීයක් වෙරළ ඉමේ සිවිල් වැසියන් විසින්ම තම දෑතින් වළ දැමුවාදැයි කිසිවෙක් දන්නේ නැත. පුරා මාස හයක් තිස්සේ ඊනියා යුධ මුක්ත කලාපයක් සොයමින් ආ ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් අවසානයේ ඉතිරි වුණේ කී දෙනෙක්දැයි අදටත් ගණන් හිලව් නැත. අදටත් උතුරු නැගෙනහිර කිලෝමීටර භාගයෙන් භාගයට හමුදා කඳවුරු ය. යුද්ධය අවසන් වී වසර ගණනක් ගත වුවද එක් සිවිල් වැසියෙකුට හමුදා භටයන් තිදෙනෙකු බැගින් ජනගණත්වයක් උතුරෙන් වාර්තා වෙයි. රජයේ හමුදාව මේ වසරේ උත්කර්ෂවත්ම වෙසක් උත්සවය කළේ බෞද්ධාගමිකයන් පන්සීයක්වත් සොයාගත නොහැකි කිලිනොච්චියේ ය...! ඒ මදිවාට තවමත් බැලූ බැලූ අත හිස් ඉඩම් ය. ඒවායේ ජිවත් වූ ජනයා කෝ?
ඔවුන් මව් රට අතහැර පළා ගොසිනි. කොටසක් තමිල්නාඩුවේ ය. තවත් කොටසක් කැනඩාවේ ය. තවත් කොටසක් එංගලන්තයේ ය. තවත් කොටසක් ඇමරිකාවේ ය. මව් රට ගැන කැක්කුමක් ඔවුන්ට තිබේ. ඩයස්පෝරාව තුළ ඔවුහු මව් රටක් ගැන සිහින දකිති. එය සාධාරණ සිහිනයකි.
ලංකාවේ සුදු ඇඳගත් වයසක උන්දැලා ජාතිවාදී දකුණේ හන්දියක් හන්දියක් ගානේ යමින්, මහජන පුස්තකාල ගානේ යමින් බෙදුම්වාදය ගැන වෙව්ළනසුලු දේශනා පවත්වන්නේ මේ සාධාරණ සිහිනය ගැන අසංවේදී වෙමිනි. තවමත් ආඬි ළිංවලින් ගලන්නෙ වතුර නෙවෙයි ලේ බව ඔවුහු අමතක කරති. උතුරේ ෂෙල් වැදුණු තල්ගස් තවමත් දළු ළා නැති බව ඔවුහු අමතක කරති. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය උත්කර්ෂයට නංවමින් දකුණේ ගොම ගතියෙන් අනූන බහුතරයට ආතල් දෙති. නමුත් ඒ කවදා වන තෙක්ද?
මේ උන්දැලා අදටත් හිතාගෙන ඉන්නේ, උතුරේ ජනතාව තවමත් වෙනම රටක් ඉල්ලන බව ය. 1987 වසරේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් බලය විමධ්‍යගත කළේ උතුරු නැගෙනහිරට ස්වයං පාලන බලතල ලබාදෙන්නට මිස එය වෙනම රටක් කරන්නට නොවේ. ඒ මුවාවෙන් උතුරට ආ ඉන්දීය සාම සාධක හමුදාව කළ කී අවලම් වැඩවලින් එදා දුක් වින්දේ දමිලයන් මිස සිංහලුන් නොවේ. ඒ වේදනාව තවමත් ඔවුන්ගේ පපුතුරේ ය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් ‘දෙමළුන්ට මේ රටේ ඉඩක් නෑ’ නමැති ආතල්සහගත හීනයෙන් ඇහැරෙන්නේ ඊලාම් රාජ්‍යයක් බිහිවූ පසුවද? ඉන්දියානු ආක්‍රමණිකයා යැයි කීවාට, වඳුරු හමුදාව යැයි කීවාට ඊලාම් යුද්ධය පවා ජයගන්නට ඉන්දියාව නොසිටියා නම් ලංකාවට හැකි නොවේ. නමුත් මේ යන විදිහට ගියොත්, ඊලාම් රාජ්‍යයක් බිහිවන්නේ කවදාද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. එය හෙට හිරු නැගෙනවා සේ ඒකාන්ත දෙයකි. ඉන්දියාව ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන කියන්නේ කුමක්ද? ඉතා සරල බසින් කියනවා නම්, “මේ මිනිස්සුන්ටත් මොනව හරි දෙන්න. ඔවුන් කාලයක් තිස්සේ දුක් වින්දා” කියා ය. මේ සරල කාරණය බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන ඊනියා සිංහල නායකයන්ට නොතේරෙන්නේ ජාතියේ පවකටද? ඔවුන් හීනෙන් ඇහැරෙන්නේ වෙනම රාජ්‍යයක් ඉල්ලන ලංකාවේ දමිල බෙදුම්වාදීන් සමග තමිල්නාඩුව ජැක් එක ගැසූ දිනයටද? සැබෑ අනතුර තිබෙන්නේ එතැන ය. අප අනෙකාගේ දුකට සංවේදී වන දිනයක් එන තෙක් සංහිඳියාව යන වචනය තවත් එක් වචනයක්ම පමණි. සැබෑ සංහිඳියාව වන්නේ අනෙකාගේ වේදනාවට සංවේදී වීමයි. ඒ වේදනාව සංහිඳවීමයි. ලංකාවේ දකුණ, උතුරේ වේදනාවට සංහිඳක් වන්නේ කවදාද...?
ලංකාවේ සිංහල අපි කොහොමටත්, ‘තේරුමක් නැතිව ආඩම්බර වන’ ජාතියකි! බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන ජාතියකි. ඒ ගැන උදාහරණ අනන්ත ය. අප්‍රමාණ ය. ඒ බෙදුම්වාදය පටන් ගන්නේ ඇතැම්විට ජීවත් වන ප්‍රදේශයෙනි. නැතිනම් ඉගෙන ගත් ඉස්කෝලයෙනි. ලංකාවේ අය ෆේස්බුක් වැනි සමාජ ජාල අවකාශ පාවිච්චි කරන ආකාරය ගැන නෙත් කොණින් වුව බැලූ විට මේ බව හොඳින් පෙනේ. කලකට පෙර සමාජ ජාලයන් හි පැතිර ගිය එක් රැල්ලකින් ටැග් කෙරුණේ ගාල්ල-මාතරෙන් කොළඹ ආ අය ය. නැතිනම් ‘අනුරාධපුර සෙට් එක’ ය. මේ වන විට පැතිර යන්නේ ඉස්කෝල රැල්ල සහ යුනිවසිටි යි. ලොකු ඉස්කෝලවලට ගිය අයත් යුනිවසිටි ගිය අයත් තම තමන්ගේ ප්‍රොෆයිලවල ලේබල් ගසාගෙන සිටිති. ‘ප්‍රවුඩ් ටු බී අහවල් එක’ යැයි ඒ මත ලියාගෙන සිටිති. බැලූ බැලූ අත තිබෙන්නේ බෙදීම් ය. ඒවායින් ඔවුන් විඳින්නේ අනෙකා තුළ හීනමානයක් ඇති කිරීමේ කුහක රසය මිස අන් දෙයක් නොවේ. ඉතින් මෙවැනි රටකින් නොබෙදුණු මතයක්, සංවේදී මනසක් කිසිදා බලාපොරොත්තු විය හැකිද?
අන්තවාදයෙන් රෑ වන රටකින් මධ්‍යස්ථ උදෑසනක් බලාපොරොත්තු නොවන්න.
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS