2011 වසරේ දී ඝාතනයට ලක් වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවකයකු වූ රොෂේන් චානකගේ මවට සිය දරුවාගේ මරණය පිළිබඳ වාර්තාව පවා ලබා ගත හැකි වූයේ මෙ...
2011 වසරේ දී ඝාතනයට ලක් වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවකයකු වූ රොෂේන් චානකගේ මවට සිය දරුවාගේ මරණය පිළිබඳ වාර්තාව පවා ලබා ගත හැකි වූයේ මෙම පනත හේතුවෙන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
“ ඇත්තෙන්ම ලෝකයේ අනෙකුත් දියුණු රටවල් තොරතුරු දැනගැනීම මහජන අයිතිවාසිකමක් ලෙස පිළිඅරගෙන නීතිගත කරලා විශාල කාලයක් ගතවී තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ස්වීඩනය අවුරුදු දෙසීයකට කලින් පොදු ආයතනවලින් මහජනයා තොරතුරු දැනගැනීම පිළිඅරන් තියෙනවා. අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කරලා 1948 මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය නිකුත් කළා. ඒකේ “ආටිකල් 19” විදියට කවුරුත් දන්න වගන්තිය වෙන්වෙලා තියෙන්නේ සෑම කෙනෙකුටම යම් මතයක් දැරීමට එසේම එය ප්‍රකාශ කිරීමට වගේම තොරතුරු ඉල්ලා සිටීමට ලබාගැනීමට ඇති අයිතියයි.
ඒ වගේම මාධ්‍යවලින් අදහස් උකහා ගැනීමට ඇති පුද්ගල අයිතිය ඒ විශ්ව ප්‍රකාශයේ පිළිඅරන් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (ICCPR) දැනට රටවල් 160 ට අධික ප්‍රමාණයක් ඒක පිළිඅරගෙන තියෙනවා. මේ ජාත්‍යන්තර නීති සහ ප්‍රකාශන දශක ගණනාවකට ඉස්සර එළිදක්වා ඇතත්, ඒවායේ ඇති තොරතුරු සහ අදහස් මිනිස් සමාජය පුරා නිදහසේ පැතිර යාමේ සංකල්පය ගැබ්වෙලා තියෙනවා.
ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ ජනතාව වෙත රාජ්‍ය තන්ත්‍රයේ ඇති වගකීම සහ යහපාලන මූලධර්ම වඩා හොඳින් ඉස්මතු වෙනවා. මේ තත්ත්වය තේරුම් අරන් තමයි අපි 2015 ජනවාරි, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට දින 100 වැඩපිළිවෙල යටතේ ඒ වගේම අගෝස්තු මහමැතිවරණයේ දී මාස 60 කින් අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරන බව සඳහන් කළේ.
ඒ ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරමින් අපිට විවිධ අභියෝගවලට මුහුණදෙමින් වුවත් පසුගිය වසරේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත නීතිමය ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරන්ට හැකි වුණා. ඒ වගේම අපි 1978 වර්ෂයෙන් පස්සෙ පළමු වතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් ලෙසට ඇතුළත් කළා.
මං හිතන්නෙ අද වෙනකොට මහජනතාවට මේ පනතේ ඇති වැදගත්කම දැනෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නෙ අපේ රජයේ මූලික පදනම විදියට ඇතිකර ගත්තු ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය පෙරටුකොට ගත්ත ජනතා මූලික පාලන අරමුණු ඉටුවෙමින් පවතිනවා. අර අවුරුදු ගාණක් තමන්ගේ පුතාට අත්වෙච්ච අකල් මරණය ගැන හිත හිත හිටපු කටුනායක රොෂෙන් චානක වෙළඳ කලාප සේවකයාගේ මවට මේ පනත යටතේ සිදු කළ ඉල්ලීමක් නිසා එළියට නොදා තිබුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ලබාගන්න හැකිවුණා. ඇත්තටම 2011 සිද්ධවෙච්ච මේ මරණය පිළිබඳ වාර්තාව ඒ කොමිෂන් සභාව ඒ වර්ෂයේ දීම හිටපු ජනාධිපතිවරයට ලබා දී තිබුණා. කන්තලේ ගොවි මහත්තයෙක් මෙතෙක් කල් ගෙදරට නොලැබුණු තැපැල් ලියුම් තොරතුරු ඉල්ලුම්පතක් ඉදිරිපත් කරලා තමන්ට සාධාරණය ඉෂ්ඨ කරගත්තා. පානම පළාත ගත්තොත් ඉඩම් පිළිබඳ ප්‍රශ්න තිබුණු ඒ ප්‍රදේශයේ ජනතාව රජයේ ආයතනවලින් මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ දැන් නීතිමය ආකාරයකට තමන්ට අවශ්‍ය විස්තර ලබාගන්නවා."
මෙම සංකල්ප ඔස්සේ ඉදිරියට ගියහොත් මාධ්‍ය නිදහස තවතවත් තහවුරු වීම මෙන්ම නූතන තාක්ෂණයේ දැනුම මහජනතාව අතර තවදුරටත් පැතිර ගොස් දැනුමින් පිරිපුන් රටක් බිහිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS