දමිළ හින්දු ආගමික දරුවෙකු වුවත් සිංහල පාසලේ කලා අංශයේ ඉගෙනුම ලබමින් බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල විෂයයන්ද ඉගෙන ගන්නා ඇයට ඒ සම්බන්ධයෙන් ඇත්තේ ...
දමිළ හින්දු ආගමික දරුවෙකු වුවත් සිංහල පාසලේ කලා අංශයේ ඉගෙනුම ලබමින් බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල විෂයයන්ද ඉගෙන ගන්නා ඇයට ඒ සම්බන්ධයෙන් ඇත්තේ හසල දැනුමකි .
ඔබට සිංහල යහළුවකු හෝ යෙහෙළියක සිටිනවාද?
මට වැඩිපුරම ඉන්නෙ සිංහල යාළුවන්. මගේ හොඳම මිතුරිය මේ පාසලේ මගේ පන්තියේ ඉන්න දිලිනි හෙසාරා. මම ඇයව දැනගත්තේ මේ පාසලේදීමයි. මොකද මම පළමු වසරේ සිටම ඉගන ගත්තේ මේ සිංහල පාසලේ. ඒ නිසා තමයි මට ඇයව දැන ගන්න ලැබුණේ.
ඇයි ඔබ සිංහල පාසලක ඉගෙනුම ලබන්නේ?
මේ පාසැල තියෙන්නේ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් දෙකක් විතර දුරින්. දමිළ පාසල තියෙන්නේ කිලෝමීටර් හතරක් විතර දුරින්. ඒ වගේම අපේ තාත්තත් ගිහින් තියෙන්නේ සිංහල පාසලකට. අක්කලා දෙන්නත් මේ විද්‍යාලයෙන්ම තමයි ඉගෙන ගෙන තියෙන්නේ. ඒ නිසා අම්මලා මමත් මේ සිංහල පාසලටම ඇතුළු කළා .
මහමගදී ඔබට හමුවන අය සිංහලද දෙමළද කියල හඳුනගන්නෙ කොහොමද?
කතාකරන විදියෙන් සිංහල ද දෙමළ ද කියලා හඳුනා ගන්න පුළුවන්, බොහෝවිට ඒ අය අඳින ඇඳුම්වලින් ද සිංහල දෙමළ අය හඳුන ගන්න පුළුවන්. ඒ වගේම දෙමළ කාන්තාවන් නම් නළලේ මොට්ටුව තියෙනවා. සිංහල අය එහෙම නෑ,. නමුත් මේ ප්‍රදේශවල එකිනෙකා හඳුන ගන්න බැරි අවස්ථාත් තියෙනවා .
ඔයාට දෙමළ තේරෙනවද? මොනවහරි දෙමළෙන් කියන්න හරි, අහන්න හරි පුළුවන්ද?
මම දෙමළ නිසා මට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන්, හැබැයි වැඩිය ලියන්න බෑ. මම සිංහල පාසලක ඉගෙන ගත්ත නිසා ඊටත් වඩා හොඳට සිංහල ලියන්න කතා කරන්න දෙකම පුළුවන් .
ඔයා අගය කරන, නැත්නම් කැමති, දෙමළ හෝ සිංහල කෙනෙක් ඉන්නවද?
මම ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි අපේ පාසලේ සංගීත ගුරුතුමිය ශ්‍යාමා කුමාරි. ඇය මට මේ පාසලට පැමිණි දවසේ සිට ගොඩක් ආදරය කළා. උදව් කළා ඒ නිසා මම එදා සිට ඇයට ගොඩක් කැමතියි ආදරෙයි .
අධ්‍යාපනය ලබලා ඉවර වුණාම සිංහල කෙනෙක් සමග විවාහ වෙන්න කැමතිද ?
''මම කැමති දමිළ කෙනෙක් සමගම විවාහ වෙන්න. මොකද සිංහල සංස්කෘතිය හා දෙමළ සංස්කෘතිය අතර වෙනස්කම් තියෙනවා. අපේ අක්කත් විවාහ වුණේ දෙමළ කෙනෙක් එක්ක. සිංහල කෙනෙක් එක්ක විවාහවෙන්න බයක් තියෙනව. ගොඩක් දුරට ඒක තීරණය කරන්නේ අපේ අම්මලා.
සිංහල දෙමළ සංස්කෘතීන් ගැන මොකද හිතන්නේ .
''මම කෝවිලට යන්නේ හදිස්සියෙන්. වැඩිපුරම පන්සල් තමයි යන්නේ. පන්සලේ ආගමික වතාවත් කරනවා . මට කෝවිලට වඩා පන්සල ළඟ නිසා පන්සලට යනවා. ගෙදරදී හින්දු ආගමික කටයුතු කරනවා. පන්සලේදී ඒ ආගමික කටයුතු කරනවා .
ඔයාට මේ පාසලේදී ඔයා දෙමළ නිසා ප්‍රශ්නයක් වුනේ නැද්ද ?
සිංහලද දෙමළද කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. අපි කවුරුත් යාළුවො වගේ ඉන්නවා. කවදාවත් සිංහල යාළුවො වචනයකින්වත් කරදර කරලා නෑ. ජාති භේද නෑ,, අපි කවුරුත් එකට ඉන්නේ...!
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි -හම්බන්තොට
COMMENTS