Advertisements

PropellerAds

Breaking News

ආගමික පොලීසියේ ප‍්‍රවේශය: ඉස්ලාමීය ක්‍රමයට - සංජීව ප‍්‍රනාන්දු

ආගමික පොලීසියේ ප‍්‍රවේශය: ඉස්ලාමීය ක්‍රමයට - සංජීව ප‍්‍රනාන්දු

ලංකාවේ පොලීසිය මේ විදිහට හැසිරුණු ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. රජයේ ආයතනවලින් වඩාත්ම දූෂිත ආයතනය වශයෙන් අපකීර්තිමත් නාමයක් දිනාගෙන ඇති පොලීසියක් නොවේ ද මෙසේ හැසිරෙන්නේ යනුවෙන් මා ප්‍රශ්න කරන විට මා නරුමයෙකු යැයි නොසිතන්න. කෙසේ වෙතත්, අපකීර්තිමත් නාමයක් ඇති කෙනෙකු වුවත් ඉඳහිට හොඳ දෙයක් කිරීමේ ප‍්‍රශ්නය කුමක්දැයි කෙනෙකු පෙරලා ප‍්‍රශ්න කළ
හැකිය.

නරුමවාදය පිළිබඳ කතාව පැත්තකින් තිබුණාවේ. මේ කියන තරුණිය අත්අඩංගුවට ගෙන, ප‍්‍රකාශයක් සටහන් කරගෙන, ඇගෙන් සමාවකුත් ලබා ගැනීමට තරම් එම තරුණිය උල්ලංඝණය කර ඇති නීතිය කුමක්දැයි කෙනෙකුට පෙන්වා දිය හැකිද ? මෙවැනි ක‍්‍රියාවක් ගිනිය හැක්කේ, ‘දේවාපහාස’ යන වරද යටතේය. එහෙත් අපේ අපරාධ නීතිය යටතේ එවැනි වරදක් සඳහන්ව නැති බව, කීර්තිමත් නීතිවේදියෙකු සහ සිවිල් අයිතිවාසිකම් ක‍්‍රියාධරයෙකු වන ක්‍රිෂාන්ත වැලිඅමුණ මහතා මාධ්‍යයට කියා තිබේ. එය නැවත වරක් සැකහැර දැන ගැනීම සඳහා මම ද දණ්ඩ නීති සංග‍්‍රහය පෙරලා බැලූවෙමි. එවැනි කිසිවක් එහි සොයා ගැනීමට මට නොහැකි විය. (එවැනි නීතියක් තිබුණත්, ක‍්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ විසූ යතිවරයෙකුගේ රූපයක් තමාගේ ටී-ෂර්ටයේ ප‍්‍රදර්ශනය කිරීම වරදක් විය හැක්කේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි)

අපේ දණ්ඩ නීති සංග‍්‍රහයේ ආගමට සම්බන්ධ පරිච්ඡේදයක් තිබෙන බව ඇත්තයි. එහි 290 සහ 292 වගන්ති යටතේ, ආගමකට අපහාස කිරීම, ඕනෑම කෙනෙකුගේ ආගමික හැඟීම් රිදවීම සහ අනුන්ගේ ආගමික හැඟීම් කෝපයට පත් කිරීම වැනි දේවල් වැරදි වශයෙන් සඳහන්ව තිබේ. එහෙත් සෞදි අරාබියේ වැනි ‘දේවාපහාස’ අපරාධ, අපේ නීතියේ වරදක් වශයෙන් සඳහන් නොවේ. අනිත් අතට, බුදුන් වහන්සේව දැක ඇති කෙනෙකු නැති නිසාත්, උන්වහන්සේගේ ඡායාරූපයක් අප සතුව නැති නිසාත්, මේ කියන රූපයේ සඳහන් වන්නේ
උන්වහන්සේම මිස වෙනකෙකු නොවන බව පොලීසිය ඔප්පු කරන්නේ කෙසේද යන්න ‘ට්විටර්’ ග‍්‍රාහකයෙකු ප‍්‍රශ්න කර තිබුණි. එම කාරණයම, යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේටත්, නබිතුමාටත්, මහාවීර සහ කොන්ෆියුසියස් වැනි වෙනත් ශාස්තෘවරුන්ටත් අදාළ වෙයි.

අපේ රාජ්‍යය වනාහී දේවතන්ත‍්‍රයක්වත්, ලෞකික රාජ්‍යයක්වත් නොවන බව ආචාර්ය දයාන් ජයතිලක කියයි. එයින් එකක හෝ ආදර්ශමත් ලක්ෂණ අපේ රාජ්‍යකරණ මාදිලිය තුළ හෝ සාමාන්‍ය ජීවිතය තුළ හෝ නොමැති බව මතක් කර දිය යුතුය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ලබා දී ඇති ප‍්‍රමුඛත්වය, වෙනත් සුළුතර ආගම්වලට එරෙහි අයිතියක් වශයෙන් නිතර ගෙනහැර දැක්වුවත්, එයාකාරයෙන්ම එය ප‍්‍රායෝගික වශයෙන් ක‍්‍රියාවේ නොයෙදෙන බවත් සැළකිය යුතුය. බුදුන් වහන්සේගේ උත්කෘෂ්ට දේශනාවන්ගෙන් කිසිවෙකු ඇත්තෙන්ම ආලෝකයක් ලබන්නේද යන්න ප‍්‍රශ්නයකි. එසේ වෙතත්, වෙනත් ආගමක් තමන් සමග තරගයට එතැයි කෙනෙකුට සිතෙන විටම බොහෝ දෙනා කරන්නේ, සැබෑ බෞද්ධ ධර්මතාද කණපිට හරවමින් එය කරට ගැනීමයි. එවිට ආගම බේරා ගැනීමේ ආවේශයක වෙලී යන මොවුහු බුද්ධාගමේ ආරක්ෂකයන් වශයෙන් පෙරට එති.

ඕනෑම ආගමක්, යම් රාජ්‍යයක් හෝ දේශපාලන බලයක් සමග කල්ලි ගැසෙන ඕනෑම අවස්ථාවක, එම ආගම පිරිහෙයි. මධ්‍යතන යුගයේ කතෝලික පල්ලිය වේවා, නූතන යුගයේ ඉස්ලාමීය රාජ්‍යය හෝ ලංකාවේ ආධිපත්‍යය ලබා ගැනීම සඳහා තතනන බෞද්ධ ජාතිකත්වය වේවා, තත්වය එයයි. ආගමික ධූරාවලිය, දේශපාලනික බලය හැසිරවීමේ සහ ධනය පාලනය කිරීමේ නිසැක අවියක් බවට එවිට පත්වෙයි. ආධිපත්‍යය සඳහා තරග වදින සංස්ථාපිත ආගම්, හැම විටකම, අධ්‍යාපනය, රැකීරක්ෂා, ඉඩම් සහ දේපල ආදිය සඳහා වන සම්පත් අරභයා තරගවදින ආයතන බවට පත්වීම පුදුමයක් නොවේ. මේ සම්පත් සඳහා බරපතල තරගයක් නොපවතින රටවල්වල ආගම මෙතරම් ප‍්‍රශ්නකාරී වන්නේ නැති බව පෙනේ. බොහෝ විට මිනිසුන් යුහුසුළු වන බව පෙනෙන්නේ, ආගමේ අභ්‍යන්තර ධර්මතාවන්ට වඩා බාහිර ආටෝපයන්ටය. යම් ආගමකට අයත් වීම හෝ නොවීම මත ජාතික සම්පත්වල අයිතිය නිර්ණය විය යුතු නැති වෙතත්, නාමික වශයෙන් හෝ යම් වරප‍්‍රසාදිත තත්වයක් භුක්ති විඳින ආගම් අරභයා එසේ සිදුවෙයි.

අදාළ ප්‍රස්තුතයට නැවත එන්නේ නම්, ඉහත කී ‘ට්වීටර්කරු’ නිවැරදිය. ලෝගුවක් හැඳගත්, රැවුල වවාගෙන දෑත් විදාහල කෙනෙකුගේ රූපයක් හෝ කුරුසයක ඇන ගසා ඇති රූපයක් සහිත ටී-ෂර්ටයක් හැඳගත් කෙනෙකු, යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේට නිගා කළ කෙනෙකු වශයෙන් වැරදිකරුවෙකු කිරීම කෙසේ වෙතත්, චූදිතයෙකු කිරීමවත් කළ නොහේ. මතක තියාගන්න. යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ කාලයේ ජීවත් වු ඕනෑම පිරිමියෙකු ස්වරූපයෙන් මෙසේ විය හැකිය. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙනුත් එසේය. උන්වහන්සේගේ කාලයේ භාරතයේ විසූ යතිවරයන් සහ සන්න්‍යාසිවරුන් ද රූපයෙන් මේ හා සමාන වුවාට සැක නැත. වාචාල ප‍්‍රශ්නයක් සේ කෙනෙකුට පෙනී යා හැකි වෙතත්, අප කිසිවෙකු බුදුන් වහන්සේව හෝ යේසුස් වහන්සේව කිසි දවසක දැක තිබේද? ඉහත කී දණ්ඩ නීතියක් තිබුණත්, මේ කියන රූපය අහවලාගේ යැයි නිසැකව ඔප්පු කරන්නේ කෙසේද ?

යෝජිත නව ආණ ්ඩ ු ක‍්‍රම ව්‍යවස්ථාව ලෞකික විය යුතු ද, නැතහොත් බහුතරයේ ආගමට වර්තමානයේ දී ඇති ප‍්‍රමුඛ ස්ථානය දිගටම රැක ගත යුතු ද යන්න ගැන වාද විවාද බෙහෙවින් පවතින කාලයක, මෙවැනි සිදුවීම්වලින් අපට මතක් කර දෙන්නේ, එක් විශේෂිත ආගමක්, දෘෂ්ටිවාදයක් හෝ ඇදහිල්ලක් සඳහා විශේෂ වරප‍්‍රසාද ලබා දීම මොන තරම් ප්‍රතිගාමී විය හැකිද යන කටුක සත්‍යයයි. බුදුන් වදාළ උත්කෘෂ්ට ධර්මයේ ආරක්ෂාව සඳහා ව්‍යවස්ථාවක කිහිලිකරුවක් අවශ්‍ය ද ? අස්ථිර භාවය පිළිබඳ සනාතන වූත්, උත්කෘෂ්ට වූත් දහමක පැවැත්ම සඳහා නීති පොතක ආරක්ෂාවක් අපේක්ෂා කිරීම, එම දහමට කරන නිගරුවක් නොවන්නේද ? සමහරුන් මෙසේ ආරක්ෂා කිරීමට වලිකන බුද්ධ ධර්මයට අනුවම කිසිවක් සදාතන නොවීම මොන තරම් උත්ප‍්‍රාසාත්මක ද/ සියල්ල අස්ථිරය යන්න බුද්ධාගමේ පිළිගැනෙන මූලික ආස්ථානයකි. දේශපාලන දෘෂ්ටිවාද, බල ව්‍යුහ සහ ආගමික චින්තා මෙන්ම ආණ්ඩුකරණය කෙරෙහි එ්වායේ ඇති බලපෑමත්, අනිත්‍යය. බුද්ධාගම අනිත් ආගම්වලට ඉහළින් තැබිය යුතු යැයි ඉල්ලා සිටීමත්, බහුතරයේ ආගම වීම නිසාම විශේෂ වරප්‍රසාද ඊට හිමි වියුතු යැයි ඉල්ලා සිටීමත්, කියාපාන්නේ ස්වභාවයෙන්ම පසුගාමී මතවාදයකි. එසේම එය, සෙස්සන් ඉවසනසුළු බුදුන් වහන්සේගේ විමුක්තිවාදී, අපරිමිත ධර්මයට කරන නිගාවකි. එසේම මහා සාරගර්භ ධර්මයක් බොහෝ දෙනා තේරුම්ගෙන ඇති ව්‍යාජ ආකාරයත් එ් මගින් පෙන්නුම් කරයි.

වාසනාවකට, මේ තරුණිය ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප‍්‍රශ්නයක්ිර්මාණය කෙරෙන ආරෝවක් ඇති කරගෙන නැත. එසේ වෙතත්, වලංගු සාපරාධී හේතු රහිතව පොලීසිය මෙසේ කටයුතු කිරීම, ලෞකික නෛතික අවශ්‍යතාවකින් නොව, අන්තවාදී මුස්ලිම් පන්නයේ පෙළඹවීමකින් මෙහෙයවන ලද්දක් බව පෙනේ.

මෙය මීට පෙරත් ඇති වූ මෙවැනිම සිද්ධියක් අපට සිහිගන්වයි. ‘බුද්ධාගමේ ආරක්ෂකයා’ වශයෙන් මෑතක සිට බෞතීස්ම ලබා සිටින ත්‍රීවීලර් රියැදුරන්ගෙන් කෙනෙකු දෙන ලද ඔත්තුවක් මත, බ්‍රිතාන්‍ය කාන්තාවක් කොළඹ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණි. මේ ඊනියා ආරක්ෂකයන් අමතක කරන එක කාරණයක් තිබේ. එනම්, ප‍්‍රකාශනයේ නිදහස මෙන්ම හෘද සාක්ෂියේ නිදහසත් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කෙරෙන බවයි. තමන් කැමති ආගමක් ඇදහීමටත්, වචන මගින්, වතාවත් මගින්, කලාව මගින් සහ සංඥා මගින් එකී ඇදහීම ප‍්‍රකාශයට පත් කිරීමටත් කෙනෙකුට ව්‍යවස්ථානුකූල අයිතියක් තිබේ. මයිකල් ජැක්සන්ගේ රූපයක් සහිත ටී-ෂර්ටයක් කෙනෙකු හැඳගෙන සිටින විට එම පුද්ගලයා කරන්නේ එකී කලාකරුවාට තමන්ගේ ඇති බුහුමන පළ කිරීම මිස ඔහුට නිගරුවක් කිරීම නොවන බව අපි කවුරුත් දනිමු. එසේ හෙයින් බුදුන් කෙරෙහි නිගරුවක් කිරීමට කැමති කෙනෙකු එ් මහා ශාස්තෘවරයාණන්ගේ රූපය තමන්ගේ ඇඳුමක ප‍්‍රදර්ශනය කරන්නේ කෙසේදෙ යන්න හිතාගත නොහැක.

ආගමකට නින්දා කිරීමට සහ අපවාද කිරීමට හෝ එසේ කිරීමට අනුන් පෙළඹවීමට එරෙහි ප්‍රතිපාදන අපේ නීතියේ ඇතත්, අපේ වාසනාවකට, ආගමික සංඥා සම්බන්ධයෙන් වන ‘දේවාපහාස’ වැරදි අපේ නීතියේ නැත. පොලීසිය මෙසේ අන්තවාදී ඉස්ලාම් ශෛලියෙන් මෙවැනි ක‍්‍රියාවල නිරත වන්නේ, අපේ අපරාධ නීතියේ ඇති එකී ලෞකික ස්වභාවය ගැන නොදැනුවත්ව විය යුතුය.

කෙසේ වෙතත් අනිත් අතට සිතන විට, අලුත් පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට භාවනාව අනිවාර්ය කොට ඇති තත්වයක් තුළ, මොවුන්ට අප වැනි පෘථග්ජනයන්ට නැති යම් නව ඥානයක්වත් පහළ වී, අපට නොපෙනෙන දෙයක් අපේ අපරාධ නීතිය තුළ ඇතැයි පෙනෙනවාවත්දැ යි සිතේ.

2017 අගෝස්තු 3 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවු, සංජීව ප‍්‍රනාන්දු ලියූ, ‘Enter the Religious Police: Mutuween Style’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

No comments