එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදන් දයානිදි නොහොත් දයාමාස්ටර්ට වව්නියාව මහාධිකරණයේ පවරා ඇති නඩුව නීති විරෝධි හා ආණ්ඩු...
එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදන් දයානිදි නොහොත් දයාමාස්ටර්ට වව්නියාව මහාධිකරණයේ පවරා ඇති නඩුව නීති විරෝධි හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (06) වව්නියාව මහාධිකරණයේදී ත්‍රස්ත විමර්ශන අංශය විසින් දයා මාස්ටර්ට ගොනු කොට ඇති නඩුවේ දායා මාස්ටර් වෙනුවෙන් නඩු වාරයට පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
නඩුවාරය ආරම්භයේදී රජයේ නීතිඥවරයා කල් ඉල්ලීම හේතුවෙන් නඩුව ලබන සැප්තම්බර් 28 වනදා දක්වා කල් දැමීමට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් සශි මහේන්ද්‍රන් මහතා නියෝග කොට සිටි බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "දයා මාස්ටර්ට පනවා ඇති නඩුව ත්‍රස්තවාදය වැලක්වීමේ පනතට යටත් නොවී හදිසි නීති යටතේ නිකුත් කරන ලද කොන්දේසි මතයි ගොනු කරල තියෙන්නේ. මේ කොන්දේසි නිකුත් කළ වෙලාවෙදීම නීතියට පටහැනිව, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නිකුත් කරල තියෙන්නේ කියල බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරා. එහෙම කොන්දේසියක් මත පළවෙනි පාරට දැන් නඩුවක් ගොනු කරල තියෙනවා." යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා,"ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ ඉන්න සැකකරුවන් නැවත පරික්ෂණයක් පවත්වල නිදහස් කරන්න පුලුවන් වගේම ඒ අය නිදහස් කරනව කියල අපිට ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. එහෙම නීතිපතිතුමත් කටයුතු කරන අවස්ථාවක මෙහෙම නඩුවක් ගොනු කරන්න හේතු අපි දන්නෙ නැහැ. ඒ නිසා තමයි අද මම අධිකරණයට අවේ. මේ චෝදනාවන් නීති විරෝධියි කියල අධිකරණයේදී විරෝධතාවක් පළ කරන්න. නමුත් නඩුවාරය කල් යාම නිසා මම මහාධිකරණයට දැනුම් දුන්නා විවෘත අධිකරණයේදී මූලික විරෝධතාවයක් අදාල චෝදනාවන්ට ගොඩනගනවා කියලා. අධිකරණයට නොතීසිත් භාරදීලා තියෙන්නේ " යි පැවසීය.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS