තායිලන්තයේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා විහාරස්ථානයක් වෙත රැගෙන ආ කාන්තාවක් හදිසියේම මිනී පෙට්ටිය තුළ පණ ලැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා...
තායිලන්තයේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා විහාරස්ථානයක් වෙත රැගෙන ආ කාන්තාවක් හදිසියේම මිනී පෙට්ටිය තුළ පණ ලැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැංකොක් අගනුවරට ආසන්න නොන්තබුරි ප්‍රාන්තයේ පිහිටි වට් රත් ප්‍රකොං නම් විහාරස්ථානයකදී මෙම සිදුවීම
වාර්තා වී ඇති අතර, ආදාහන කටයුතු සඳහා රැගෙන ආ දේහය චලනය වනු දැකීමෙන් විහාරස්ථානයේ කාර්ය මණ්ඩලය දැඩි ලෙස විමතියට පත්ව තිබේ.
වයස අවුරුදු 65ක් වූ මෙම කාන්තාව පසුගිය වසර දෙකක පමණ කාලයක් රෝගාතුරව ඇඳට සීමා වී සිට ඇති අතර, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් හුස්ම ගැනීම නතර වූ බවට සැක කිරීමෙන් අනතුරුව ඇය මියගිය බවට ඇගේ පවුලේ ඥාතීන් නිගමනය කර ඇත. අනතුරුව ඇයගේ සහෝදරයා විසින් පිත්සනුලොක් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 500ක පමණ දුරක් ගෙවා ඇයව බැංකොක් නුවරට රැගෙන විත් ඇත්තේ ඇයගේ පූර්ව කැමැත්ත පරිදි අවයව දානය කිරීමේ අරමුණෙනි.
කෙසේ වෙතත්, නීත්‍යානුකූල මරණ සහතිකයක් නොමැති වීම හේතුවෙන් රෝහල විසින් ඇයගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුව එම සහෝදරයා මෙම විහාරස්ථානය මගින් සිදුකරන නොමිලේ ආදාහන සේවාව ලබා ගැනීමට උත්සාහ කර තිබේ. විහාරස්ථානයේ කළමනාකරු විසින් මරණ සහතිකය ලබා ගන්නා ආකාරය පිළිබඳව ඇයගේ සහෝදරයාට උපදෙස් දෙමින් සිටින අතරතුර මිනී පෙට්ටිය තුළින් යම් තට්ටු කරන ශබ්දයක් ඇසෙන බව ඔවුන්ට දැනී ඇත.
එම අවස්ථාවේදී මිනී පෙට්ටිය විවෘත කර බැලීමේදී කාන්තාව දෑස් හැර බලා සිටිනු සහ මඳක් අත් පා සොලවනු දැකගත හැකි වී ඇති අතර, ඇය සෑහෙන වේලාවක් තිස්සේ පෙට්ටියට තට්ටු කරමින් සිටින්නට ඇති බව විහාරස්ථාන භාරකරු මාධ්‍ය වෙත සඳහන් කර තිබේ. වහාම ක්‍රියාත්මක වූ කාර්ය මණ්ඩලය ඇයව ළඟම ඇති රෝහල වෙත යොමු කර ඇති අතර, එහිදී වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ ඇයගේ රුධිරයේ සීනි මට්ටම අතිශය ලෙස පහත වැටීම (Hypoglycaemia) හේතුවෙන් ඇය මෙලෙස සිහිසුන්ව සිට ඇති බවයි. ඇයගේ ප්‍රතිකාර වියදම් දැරීමට විහාරස්ථානය ඉදිරිපත් වී ඇත.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්

COMMENTS