ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන්...
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.
හිටපු සභාපති ජනක අලුත්ගේ මහතා විදේශයක සිටිය දී ඔහු පවා නොදැන මෙම ඇණවුම කර ඇත්තේ එහි නිලධාරීන් බවත් එම ක්‍රියාව සභාපතිවරයාට පැටවීම අසාධාරණ බවත් අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවැසුවේ බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ලෙකෝ ආයතනය වාහන මිලදී ගැනීමට කෝටි හැට දෙකකට වැඩි මුදලක් අයවැයෙන් වෙන් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුව එය මිලියන 46 ට අඩු කරගෙන ඇති බව පැවැසූ අමාත්‍යවරයා වාහන දාහතක් සඳහා මෙම මුදල වෙන් කරගෙන ඇති බව ද කීවේය.
මෝටර් රථ හතක් සහ ඩබල් කැබ් දහයක් ඊට ඇතුළත් බව ද අමාත්‍යවරයා පැවැසීය.
සභාපතිවරයාෙගේ රථය දිගින් දිගටම කාර්මික දෝෂවලට ලක්වීම නිසා එය අලුත්වැඩියා කිරීමට මිලියන දෙක තුන වියදම් වී තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර සභාපතිවරයාගේ පාවිච්චියට බෙන්ස් රථයක් තිබිය දී තවත් රථයක් මෙසේ ඇණවුම් කිරීම රජයේ මුදල් අවභාවිත කිරීමක් බව එහි සේවකයෝ පෙන්වා දෙති.
මීට අමතරව නිලධාරීන්ගේ පාවිච්චියට බීවයිඩී (BYD) වාහන දහයකට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගෙන ඇති බවයි.
සමාගමේ සභාපතිවරුන්ගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවලද සුපිරි වාහන මිලදී ගත් බව පවසන එම සේවකයෝ ඒවා තවමත් හොඳ තත්වයේ පවතින බව ද පෙන්වා දී තිබිණි.
අදාළ තොරතුරු පසුගිය දිනවල දිගින් දිගටම මාධ්‍ය විසින් අනාවරණය කර තිබිණි.

COMMENTS