උතුරු කොරියාව යනුම කුහල දනවන ගුප්ත භූමියකි. ලොවෙන් දැඩි ලෙස හුදකලා කළ මෙම භූමිය තුළ සිදුවන දේ පිළිබඳ මේ දියුණු ලෝකය තුළත් ඇත්තේ කල්පිත ප්...
උතුරු කොරියාව යනුම කුහල දනවන ගුප්ත භූමියකි. ලොවෙන් දැඩි ලෙස හුදකලා කළ මෙම භූමිය තුළ සිදුවන දේ පිළිබඳ මේ දියුණු ලෝකය තුළත් ඇත්තේ කල්පිත ප්‍රවාද සමාන තොරතුරු පමණි. මේ විශේෂ සටහන තැබෙන්නේ ලෝකය තිගැස්වූ කතාවක් කියන්නටය. උතුරු කොරියාවේ මෙතෙක් නිර්මාණය වූ විශාලතම යුධ නෞකාව නිර්මාණය වෙමින් තිබේ. එම නෞකාව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නාවික බලඇණියේ ඇති ඕනෑම යුධ නැවකට වඩා දෙගුණයක් විශාල විය හැකි ආකාරය මේ වනවිට ලැබෙන නව චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ස්වාධීන චන්ද්‍රිකා සපයන්නන් වන මැක්සාර් ටෙක්නොලොජීස් සහ ප්ලැනට් ලැබ්ස් විසින් අප්‍රේල් 6 වන දින ගන්නා ලද ඡායාරූපවලින් අගනුවර වන ප්යොංයැං සිට කිලෝමීටර් 60 ක් (සැතපුම් 37) පමණ නිරිත දෙසින් පිහිටි උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ නම්පෝ නැව් තටාකයේ ජලයේ ඉදිවෙමින් පවතින මෙම නෞකාව අනාවරණය වී ඇත.
විශ්ලේෂකයින් පවසන්නේ ඡායාරූප මගින් නෞකාවේ ආයුධ සහ අනෙකුත් අභ්‍යන්තර පද්ධති අඛණ්ඩව ඉදිවෙමින් පවතින බවය. එය ගොඩබිම සහ මුහුදේ ඉලක්ක වලට එරෙහිව භාවිතා කිරීම සඳහා සිරස් දියත් කිරීමේ මිසයිල රැගෙන යාමට නිර්මාණය කර ඇති බහු මෙහෙයුම් හැකියාව සහිත මාර්ගෝපදේශක මිසයිල නෞකාවක් (FFG) විය හැකි බව යුධ විශේෂඥයනේගේ මතය වී තිබේ.
” මෙම මිසයිල නෞකාව ආසන්න වශයෙන් මීටර් 140 ක් (අඩි 459) දිග වන අතර එය උතුරු කොරියාවේ නිෂ්පාදනය කරන ලද විශාලතම යුධ නෞකාව වේ,” උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජෝසප් බර්මියුඩෙස් (ජූනියර්) සහ ජෙනිෆර් ජුන් විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව ප්‍රකාශ වී ඇත.
මෙම ඉදිකිරීමේ බිහිසුණුකම දැනට ලෝකයේ පවතින විනාශකාරී යුධ නෞකා සමග සැසඳීමෙන් සහතික කර ගත හැකිය. නාවික භාෂිතයේ දී එන යෙදුම් සමගම මේ නෞකාව ගැන අදහසක් ලබා ගැනීම වැදගත්ය. එක්සත් ජනපද නාවික හමුදාව සතුව ඇති Arleigh Burke – පන්තියේ Destroyers නෞකා අඩි 505 ක් පමණ දිගය. උතුරු කොරියාවේ ඉදිවෙමින් පවතින්නේ Corvette සහ Destroyer ලෙස නම් කර ඇති යුධ නෞකා විශේෂ දෙක අතරට වැටෙන Constellation පන්තියට අයත් Frigate අකාරයේ යුධ නෞකාවකි. මෙම නෞකාව අඩි 496 ක් දිගය. එම නෞකා විශේෂය නිර්මාණය කරන්නේ දිය මතුපිට ගැඹුරු මුහුදේ සහ ගොඩබිම ආශ්‍රිත යුධ්ධ, දිය අභ්‍යන්තරයේ සබ්මැරීන විරෝධී යුධ්ධ පරිවාර රාජකාරි සහ බුද්ධි තොරතුරු එකතු කිරීමේ බහුකාර්ය අවශ්‍යතා සඳහාය.
යුධ නෞකාවේ පැවැත්ම පුදුමයක් නොවේ. කිම් පාලනය එහි සන්නද්ධ හමුදා වේගයෙන් නවීකරණය කිරීමක නිරත වී සිටී. ඔවුහු නව ආයුධ පරාසයක් සංවර්ධනය කරමින් සහ එක්සත් ජනපදයේ ඕනෑම තැනකට ළඟා විය හැකි අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂා කරමින් සිටිති.
මෙවැනි ආයුධ සංවර්ධනය කිරීම සඳහා ද්‍රව්‍ය හා තාක්‍ෂණයට ප්‍රවේශ වීම දැඩි ලෙස සීමා කරමින් එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබේ. උතුරු කොරියාව තම ඉලක්ක සපුරාගෙන ඇත්තේ එම සමබාධක නොතකාය. විශ්ලේෂකයින් පවසන්නේ යුක්රේන යුධ්ධයේ ආරම්භයේ සිට රුසියාව සමඟ ඇතිකරගත් සමීප සබඳතා ද උතුරු කොරියාවට එක්සත් ජාතීන්ගේ සම්බාධක ජය ගැනීමට උපකාරී විය හැකි බවය.
විශ්‍රාමික දකුණු කොරියානු අද්මිරාල්වරයෙකු වන කිම් ඩුක්-කි පැවසුවේ රුසියාව නෞකාවේ මිසයිල පද්ධති සඳහා අවශ්‍ය තාක්ෂණය සපයනු ඇතැයි තමන් සිතන බවයි.
පසුගිය වසරේ අගභාගයේදී උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ වසර අවසාන පූර්ණ සැසියේදී රාජ්‍ය මධ්‍යම රූපවාහිනියේ වාර්තාවක නෞකාවේ පින්තූර පළ විය. රූපවල නායක කිම් නෞකාවේ ඉදිකිරීම් පරීක්ෂා කරන ආකාරය දැක්වේ.
එම වීඩියෝවේ ඇති රූපවලින් පෙනී යන්නේ යුධ නෞකාවට නවීන නාවික හමුදාවන් සතුව ඇති මිසයිල පද්ධති ඇතුළු අති නවින ආකාරයේ ආයුධ තිබිය හැකිබවය.
විශ්ලේෂකයින් තව දුරටත් පෙන්වා දෙන්නේ උතුරු කොරියානු හැකියාවන් කලින් ප්‍රදර්ශනය කළ ප්‍රමාණයට වඩා ඉක්මනින් දියුණු වී තිබෙන ආකාරය ය. නිවැරදිව තර්ජන සහ ඉලක්ක නිරීක්ෂණය කළ හැකි අති නවීන රේඩාර් පද්ධති සහිත නෞකාව සම්බන්ධව ලෝකය දැන් ඉන්නේ තිගැස්මෙනි. මේ දියුණු යුධ සහ සටන් හැකියාවන් පිළිබඳ ඇත්තේ යම් ඉඟි පමණක් බැවින් උපකල්පන සිදුකිරීමේ දී ප්‍රවේශයම් විය යුතු බවට ද විශේෂඥ අදහසය.
යුධ නැව් තැනීමේ අභියෝගය
ඕනෑම නැව් සාදන්නෙකුට පාහේ යාත්‍රාවේ ප්‍රධාන කොටස ආවරණය කරන ජල ආරක්ෂිත ව්‍යුහයවන නැව් බඳ සහ නැව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තෙරපුම ජනනය කරන යන්ත්‍රෝපකරණ සහිත ප්‍රචාලන පද්ධති නිවැරදිව ලබා ගත හැකි බව හිටපු එක්සත් ජනපද නාවික හමුදා කපිතාන් සහ හවායි පදනම් කරගත් විශ්ලේෂකයෙකු වන කාල් ෂුස්ටර් ප්‍රකාශ කර තිබේ..
“කෙසේ වෙතත්, නවීන යුධ නැව් නියෝජනය කරන්නේ සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ආයුධ සහ ඉලෙක්ට්‍රොනික ධ්වනි සංවේදක තාක්ෂණයන්හි ඒකාබද්ධ කිරීමේ අභියෝගයක්… එය එතරම් පහසුවෙන් සාක්ෂාත් කරගත නොහැකියි.” කාල් ෂූස්ටර් තවදුරටත් පැවසීය.
CNN සඳහා චන්ද්‍රිකා ඡායාරූප සමාලෝචනය කිරීමෙන් පසු, කාල් ෂූස්ටර් පවසා ඇත්තේ නව උතුරු කොරියානු යුධ නෞකාවට මුහුදු අත්හදා බැලීම් ආරම්භ කිරීමට වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවය.
“ස්ථාපනය සඳහා අදහස් කරන ලද උපරිව්‍යුහය, සංවේදකය සහ ආයුධ පද්ධති නොමැතිකම නිසා මෙම නෞකාවේ ඉදිකිරීම් ප්‍රමාද වෙමින් තිබෙනවා,” ඔහු පැවසීය.
මාර්තු මාසයේදී CNN සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, දකුණු කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සාමාජිකයෙකු වන දකුණු කොරියානු නීති සම්පාදක කිම් බියුන්ග්-කී, උතුරු කොරියාවට දියුණු යුධ නැවක් තැනීමේ තාක්ෂණික හැකියාව හෝ එයට සහාය වීමට යටිතල පහසුකම් තිබේද යන්න ප්‍රශ්න කළේය.
“මෙතරම් විශාල හමුදා යුධ නැවක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු වැය බරක් අවශ්‍යයි. ඔවුන්ට යුධ නැවක් තැනීමට පමණක් නොව, එය ක්‍රියාත්මක කරන කණ්ඩායමක් සෑදීමටත්, උපකරණ සහ ඉන්ධන ඇතුළුව එය ක්‍රියාත්මක කිරීමට විශාල වැය බරක් දැරිය යුතුයි. එසේම, එක් විශාල යුධ නැවකට තනිවම යා නොහැකියි. එබැවින් ප්‍රශ්නය නම්, උතුරු කොරියාවට මේ පිරිවැය දැරිය හැකිද යන්නයි” ඔහු පැවසීය.
කෙසේ වෙතත් විශ්‍රාමික දකුණු කොරියානු අද්මිරාල් කිම්, අවසාන නිෂ්පාදනය කෙබඳු විය හැකිද යන්නත් විශේෂයෙන් එහි මාරාන්තික බව අවතක්සේරු නොකිරීමටත් ප්‍රවේශම් වී තිබිණි.
“උතුරු කොරියාව ජනවාරි මාසයේදී සාර්ථකව අත්හදා බැලූ බව කියන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයෙන් නව නෞකාව සන්නද්ධ කළහොත්, එය කලාපීය ආරක්ෂාව තුළ ක්‍රීඩාව වෙනස් කරන බලපෑමක් ඇති කරනු ඇති,” හිටපු නාවික නිලධාරියා පැවසීය.
උතුරු කොරියාවේ පැරණි නාවික බලඇණිය
2021 වාර්තාවක එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) නවතම ඇස්තමේන්තුවට අනුව, උතුරු කොරියාවේ නාවික හමුදාවට මුර සංචාර නෞකා 400 ක් සහ සබ්මැරීන 70 ක් පමණ ඇති බවය.
යාත්‍රා විශාල සංඛ්‍යාවක් වුවද, ඒවායින් බොහොමයක් පැරණි හා කුඩා බව ඔහු කියයි.
ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විශ්ලේෂකයෙකු වන ජෝසප් ඩෙම්ප්සි ජනවාරි බ්ලොග් සටහනක ලියා ඇත්තේ ප්යොංයැං සතුව ප්‍රධාන යුධ නෞකා 02ක් පමණක් ඇති බවය. 1970 ගණන්වල මුල් භාගයේ සිට පැවත එන එම Najin පන්තියේ යුධ නැව් – යල් පැන ගිය ඒවා බව ද ඔහු ලිවීය.
දකුණු කොරියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇති වන ඕනෑම ගැටුමකදී උතුරු කොරියානු නාවික හමුදාව බොහෝ දුරට වෙරළබඩ ආරක්ෂාව සඳහා සීමා කරනු ඇති බව DIA වාර්තාවේ සඳහන් වේ. ඔවුන් පෙන්වා දෙන්නේ දකුණු කොරියාවට සහ ඇමරිකාව යනු රටවල් දෙකටම බෙහෙවින් උසස් නාවික හමුදාවන් ඇති බවය.
නමුත් අවම වශයෙන් උතුරු කොරියානු නායක කිම් තම නාවික බලඇණිය නවීකරණය කිරීමට උත්සාහ කරමින් සිටී. සබ්මැරීන වලින් දියත් කළ හැකි මිසයිල සහ ඒවා රැගෙන යාම සඳහා සබ්මැරීන ද සංවර්ධනය කරමින් සිටී.
සැප්තැම්බර් මාසයේදී, කිම් නව නාවික වරායක් සඳහා ස්ථානයක් පරීක්ෂා කළේය.
“දැන් අපට ඉක්මනින්ම විශාල යුධ නැව් සහ සබ්මැරීන හිමිකර ගැනීමට හැකියි. ඒ සඳහා පවතින යුධ නැව් නැංගුරම් ලෑමේ පහසුම් සහිත ස්ථාන ප්‍රමාණවත් නෑ. නවතම විශාල යුධ නැව් හැසිරවීම සඳහා නාවික කඳවුරක් ඉදිකිරීම හදිසි කාර්යයක් බවට පත්ව තිබෙනවා,” ඔහු ඒ අවස්ථාවේ පවසා ඇත.
දකුණු කොරියානු නීති සම්පාදකයෙකු වන යූ යොං-වොන් පැවසුවේ නම්පෝ අංගනයේ ඉදිවෙමින් පවතින නෞකාව කිම් තම නාවික හමුදාව නවීකරණය කිරීමට උත්සාහ කරන බවට එක් උදාහරණයක් පමණක් බවය.
උතුරු කොරියානු සින්පෝ වරායේ නැව් අංගනයක න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් ඉදිවෙමින් පවතින අතර චොංජින් හි තවත් නෞකාවක ඉදි වෙමින් පවතින බව යූ පැවසීය.
කොරියානු මධ්‍යම රූපවාහිනියේ ඡායාරූපයක දැක්වෙන්නේ නායක කිම් ජොන් උන් පසුගිය වසරේ අගභාගයේදී නව යුද නෞකාවක වැඩ පරීක්ෂා කරන ආකාරයයි.
-සත්මනු ජයදේව
lankasara
COMMENTS