දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂාෆ්ටර් ඝාතකයා හොඳින්ම දන්නා කියන අයෙක්! බිරියයි-මිතුරායි පුන පුනා බ්‍රයන් තෝමස් සැක බව කිව්වේ ඇයි? සැකසහිත කරුණු රැසක්!
Homeප්‍රවෘත්ති

ෂාෆ්ටර් ඝාතකයා හොඳින්ම දන්නා කියන අයෙක්! බිරියයි-මිතුරායි පුන පුනා බ්‍රයන් තෝමස් සැක බව කිව්වේ ඇයි? සැකසහිත කරුණු රැසක්!

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් පසු කාලයේ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු ලෙස කැපී පෙ‍ෙනන චරිතයක් බවට පත් වූ ප්‍...

ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්... තහවුරු කරගනී...? පවුලේ අයටත් දන්වයි..?
You Tube සහ Facebook හරි පාරට ගන්න ජනපතිට හිත යයි
නත්තල් දා වෙස්වලාගෙන රටින් පනින බව බුද්ධි අංශ කල් තියාම දැනන් ඉඳලා! ඉන්දියාවට යන්න මන්නාරමෙන් බෝට්ටුවකට නැග්ගේ ‌ප්‍රබල දේශපාලඥයකුගේ සහෝදරයාගේ රැකවරණයෙන්! ඇප ලැබුණු ගමන් පාතාලයේ ගෝඩ්ෆාදර් කංජිපානි ඉම්රාන් රටින් පැන්නෙ මෙහෙමයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් පසු කාලයේ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු ලෙස කැපී පෙ‍ෙනන චරිතයක් බවට පත් වූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ජනශක්ති සමාගමේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත් දිනේෂ් ෂාෆ්ටර්ගේ පසුගියදා සිදු වූ ඝාතනයෙන් අදටත් මුළු ව්‍යාපාරික ලෝකයම සිටින්නේ හෙල්ලී ගොසිනි. 
දිනේෂ් ෂාෆ්ටර් ද සිය පියා මෙන්ම සමාජයේ කැපී පෙනෙන්නට සිටි ප්‍රකට චරිතයක් වූ බැවින් ඔහුගේ ඝාතකයා නීතිය හමුවට පමුණුවන තුරු මුළු රටම බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ සුසාන භූමියක් තුළට ගෙන්වා ගෙන මහ දවාලයේ දිනේෂ් ෂාෆ්ටර් වැනි ඉහළ ධනපතියෙක් මරා දමන්නට තරම් මුල් වූ කරුණ කුමක්දැයි දැන ගැනීමේ පිපාසාව ද සමඟිනි.

ඉහළ ධනපතියෙක් සුසාන භූමියක කළේ කුමක්දැයි කියාද ප්‍රශ්න නඟන්නෝ ද බොහෝය. මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු වැඩි කල් යන්නට මත්තෙන් ලැබෙනු ඇති බව දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනිස් ඝාතන විමර්ශන කොට්ඨාසයේ විමර්ශන ප්‍රගතිය ගැන සොයා බැලීමේදී පෙනී යන කරුණකි.

දිනේෂ් ෂාෆ්ටර් මෙරට පදිංචිව සිටියේ අංක 39 මල්පාර කොළඹ 07 දරන නිවසේය. එංගලන්තයේ ද ඔහුට නිවසක් හිමිය. සිය පළමු විවාහයේ දරුවා වාසය කරන්නේ ද එංගලන්තයේය. ඒ නිසාම ඔහු වැඩි කාලයක් ගත කිරීමට කැමැත්තක් දැක්වූයේ යැයි කියැවෙන්නේ එංගලන්තයේය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙවැනි විවාහයේ බිරිය ටානි ශමින් ෂාෆ්ටර්ය. ඇය 1978 වසරේ උපන්නියකි. ඇය දිනේෂ් ෂාෆ්ටර්ට වඩා වයසින් බාල වසර 08ක් පමණි. දිනේෂ් ෂාෆ්ටර් ට මෙම දෙවැනි විවාහයෙන් ද දරුවන් සිටිති. ඒ දෙදෙනෙකි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ශමින් පොලිසියට පවසා ඇති ආකාරයට අනුව සිය සැමියා ඝාතනයට ලක්වන අවස්ථාව වන විට ඔහු ඇසට්ලයින් නැමැති මුදල් අයෝජන ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් ඇත. ඒ ඔහු සමාගම් රැසක දරන අධ්‍යක්ෂ ධුරයන්ට අමතරවය.

අන්තර්ජාලයේ තොරතුරු විමසා බැලීමේදී පෙනී යන්නේ දිනේෂ් ෂාෆ්ටර් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ලෙස සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින් පී.එල්.සී. හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇති බවකි.

දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව පොලිස් විමර්ශකයන් කරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ ටානි ශමින් පවසා ඇති ආකාරයට අනුව එදා උදෑසන සිටම සිය සැමියාගේ හැසිරීමේ යම් වෙනසක් ඇය දැක තිබුණාය. ඇය කියන්නේ ඒ ඇයි දැයි කියා සැමියා කිසිවිටකදීවත් තමාට පැවසුවේ නැති බවය.

ඇය පවසන ආකාරයට අනුව එදින සවස 2.00ට පමණ දිනේෂ් ෂාෆ්ටර් නිවෙසින් පිටව ගොස් ඇත්තේ පැය භාගයකින් නැවත පැමිණෙන බව කියාය. ඒ ඔහුට අයත් wp KU 8732 අංකය දරන මෝටර් රථයේ නැඟීය. රථය පදවා ගෙන ගොස් ඇත්තේ ඔහුමය.

“මම එයාගෙන් ඇහුවා කීයට ද එන්නේ කියල. එතකොටයි පැය භාගෙන් එනවා කීවේ“ ඒ ගැන ටානි ශමින් පොලිසියට පවසා ඇත්තේ එවැනි කතාවකි.

දිනේෂ් ෂාෆ්ටර් ඒ කියූ ආකාරයට පැය භාගයකින් නිවසට ආවේ නැත. ටානි ශමින් සිය ජංගම දුරකතනයෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරතතනයට පණිවුඩයක් යොමු කළේ යැයි කියන්නේ ඒ කියූ වෙලාවට නොපැමිණි බැවිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනය ඒ වන විට රැඳී තිබෙන්නේ කුමන ස්ථානයකදැයි ඇය සිය ජංගම දුරකතනයෙන් පරීක්ෂා කළේ යැයි කියන්නේ ද එම පණිවුඩය ඔහු නොබැලූ බව පෙනී ගිය නිසා බවය. එහිදී ඇයට දිනේෂ් ෂාෆ්ටර් රැඳී සිටින ස්ථානය ලෙස පෙන්වා ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමියයි.

පැය භාගයෙන් එනවා යැයි කියා ගිය සිය සැමියා ඒ කියූ වේලාවට නොපැමිණීම නිසා ටානි ශමින් කොතරම් කලබල වී සිටියේදැයි කිවහොත් ඇය ඒ ගැන සොයා බලන්නයි කියන්නේ ඔන්ග්‍රි පැට්රික් ක්‍රිෂ් පෙරේරාටය. ඇය කියන්නේ ඔහු සිය සැමියාගේ ඥාතියකු බවය. ඥාතියෙක් යැයි ඇය කීවාට දිනේෂ් ෂාෆ්ටර් සහ ඔහු අතර තිබී ඇත්තේ ඥාතිකමට වඩා ළඟ මිතුරුකමක් බවද ඇය කියන්නීය. දිනේෂ් ෂාෆ්ටර්ගේ බොහෝ ව්‍යාපාරික ගනුදෙනු මෙන්ම ව්‍යාපාරික රහස් ගොන්නක්ම දැන සිටි විශ්වාසවන්තයා යැයි කියැවෙන්නේද ක්‍රිෂ් පෙරේරාය. ඒ සිය සහෝදරයන් දෙදෙනාටත් වඩාය.

ක්‍රිෂ් දෙදරු පියෙකි. හැදල, වත්තල පදිංචි ක්‍රිෂ් පෙරේරා 1985 වසරේ උපන්නෙකි. නෙක්ස්ට් ඉන්වෙස්ට් ලිමිටඩ් හි අධ්‍යක්ෂකවරයෙක් ලෙසද ක්‍රිෂ් පෙරේරාට කටයුතු කරන්නේය. ක්‍රිෂ් හා දිනේෂ් අතර ඇති සබැඳියාව වසර 19ක් තරම් ඈතට දිව යන්නෙකි. ඒ ක්‍රිෂ් පෙරේරා පොලිසියට පවසා ඇති ආකාරයට අනුවය. ඒ අනුව පෙනී යන්නේ දිනේෂ් ෂාෆ්ටර් යටතේ සේවකයෙක් ලෙස කටයුතු කර ඇත්තේ වයස අවුරුදු 18 සිටය.

දිනේෂ් ෂාෆ්ටර් පැය භාගයෙන් නොපැමිණීමෙන් කලබල වෙමින් සිය සැමියා ගැන සොයා බලන්නැයි ටානි ශමින් දුරකතන ඇමතුමක් ගෙන ක්‍රිෂ් පෙරේරාට පවසා ඇත්තේ හරියට සැමියා සහ බිරිය අතර ඇතිවන හිත් අමනාපයකින් හෝ ගැටුමකින් අනතුරුව සැමියා හිස හැරුණු අතේ යනවා යැයි කියා හෝ සිය ජීවිතය නැති කර ගන්නවා යැයි කියා හෝ නිවෙසින් පිටව ගිය මොහොතක බිරියකගේ හැසිරීම සිහි ගන්වමිනි. එහෙත් මෙහිදී එවැනි සිදුවීමක් වූ බවක් නම් ටානි ශමින් පවසන්නේ නැත.

“ඔන්ග්‍රිට මම ෂාෆ්ටර් ඉන්න ලොකේෂන් එක යවල කිව්වා පොඩ්ඩක් බලන්න කියල. ඒ වෙලාවේ එයා කිව්වා එයාටත් ෂාෆ්ටර් ලොකේෂන් එක එවල තියෙනවා කියල“ යැයි ද ඇය පොලීසියට වරෙක කියා තිබුණාය.

ඒ අනුව පෙනී යන්නේ දිනේෂ් ෂාෆ්ටර් සිය බිරියට මෙන්ම සිය මිතුරා වූ ක්‍රිෂ්ට ද එදා ඔහු යන එන තැන් ගැන දැන ගැනීමට ලොකේෂන් හුවමාරු කර ඇති බවය. ඒ ගැන මේ වන විට ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. ඒ ඊට පෙර අවස්ථාවලදී මෙසේ දිනේෂ් ෂාෆ්ටර් සිය ජංගම දුරකතනයේ තමා රැඳී සිටින ස්ථානය වෙනත් අය සමඟ හුවමාරුකර ඇති බවක් බැලූ බැල්මට නොපෙ­‍ෙනන බැවිනි. ඒ ගැන මේ වන විටත් විමර්ශනයක් පැවැත්වෙන්නේ ඔහුගේ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාර ඔස්සේ දැඩි විමර්ශනයකට ලක්වෙමිනි. ඒ ලොකේෂන් හුවමාරු කිරීම් සම්බන්ධයෙන් අතීත තොරතුරු මතු කර ගනිමින් සහ දිනේෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු එහි ගබඩා වී තිබේදැයි සොයා බලමිනි.

විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ටානි ශමින්ගෙන් දුරකතන ඇමතුම ලැබෙන විට ක්‍රිෂ් පෙරේරා සිට ඇත්තේ ඔහු සේවයේ නිරතව සිටින ආයතනයෙන් පිටතය. ඒ මහා පාරේය. ඒ බොරැල්ල පොදු සුසාන භූමියට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකය.

ක්‍රිෂ් පෙරේරා පවසන ආකාරයට අනුව ටානි ශමින්ගෙන් දුරකතන ඇමතුම ලැබෙන විට ඔහු සිට ඇත්තේ සිය දරුවන් දෙදෙනාගේ පාසල වෙත ගොසිනි. ඒ පාසල නිම වීමෙන් පසු ඔවුන්ව නිවෙසට ඇරලවීම සඳහාය. එහිදී ඔහු සිය දරුවන් දෙදෙනාව වත්තල පිහිටි නිවසට ආරක්ෂාකාරීව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ආවේ යැයි කියනු ලබන්නේ ඔහු සේවයේ නිරතව සිටින ආයතනයෙන් ගෙන්වා ගත් කැබ් රථයක නැඟීය. එම කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළේ යැයි කියනු ලබන්නේ නිහාල් නැමැති අයෙකි.

පෙනී යන ආකාරයට අනුව ක්‍රිෂ් පෙරේරා එම ඇමතුම ලැබී ඉතා කෙටි වේලාවක් තුළ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පය තබා ඇත්තේය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මුලින්ම පැන නැඟුණු ගැටලුවක් වූයේ ඔහුව වෙනත් ස්ථානයක ඝාතනය කර සුසාන භූමියට රැගෙනවිත් දමා ගියේදැයි කියාය. එම සැකය නිරවුල් කර ගැනීමට විමර්ශකයන් සිය අවධානය යොමු කරනු ලැබුවේ ආරක්ෂක කැමරා දත්ත විමර්ශනයෙනි. පළමුවෙන්ම විමර්ශකයන්ගේ නිරීක්ෂණයට ලක්වන්නේ දිනේෂ් ෂාෆ්ටර් මල්පාරේ නිවෙසින් පිටව යන අවස්ථාවය. දිනේෂ් ෂාෆ්ටර් පැය භාගයකින් පැමිණෙන බව කියා නිවසින් පිටත් වූයේ සවස 2.00ට පමණ යැයි ටානි ශමින් පැවසුවත් ආරක්ෂක කැමරා දත්ත නිරීක්ෂණයේදී පැහැදිලි වන්නේ සැබෑ ලෙසම ඔහුගේ මෝටර් රථය මහා පාරට දමන්නේ සවස 2.06 ට පමණ බවය. ඒ අවස්ථාවේදී මෝටර් රථයේ තවත් අයෙක් සිටියේදැයි සැක හැර දැන ගැනීමට තවත් තාක්ෂණික විමර්ශන ගණනාවක් මෙන්ම නිවසේ ආරක්ෂකයන්ගෙන් ද තොරතුරු විමසීමේදී පෙනී යන්නේ දිනේෂ් ෂාෆ්ටර් එදා මෝටර් රථයේ නැඟී පිටත්ව යන්නේ තනිවම බවය.

එතැන් සිට හන්දියක් හන්දියක් ගානේ ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් ඉතා සංකීර්ණ වූත් වෙහෙසකර වූත් විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් තහවුරු කර ගන්නේ දිනේෂ් ෂාෆ්ටර් සිය නිවසින් පිටත්ව විනාඩි පහළොවක් විස්සක් ඇතුළත කෙළින්ම එන්නේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත බවය. ඒ යන අතරතුර ඔහු සිය මෝටර් රථය නතරකර ඇත්තේ නම් ඒ එක් ස්ථානයක පමණි. ඒ තැන කොළඹ 07, මලලසේකර මාවතේ අංක 28 දරන ස්ථානයේ පිහිටි රොද්‍රිගෝ ලොජන්සි ප්ලේවර්ස් නැමැති කෙටි ආහාර අලෙවි සැල ඉදිරිපිටය. අනාවරණය වී ඇති ආකාරයට අනුව ඔහු එහිදී දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර කිහිපයක් මලු දෙකකට බහා මිලදී ගෙන ඇත. ඔහු එම කෙටි ආහාර මලු දෙක මෝටර් රථයේ දමාගෙන කෙළින්ම ගොස් ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙතය. ඒ දේවි බාලිකා විද්‍යාලය පැත්තෙන් ඇති දොරටුවෙන් සුසාන භූමිය වෙත සිය මෝටර් රථය ඇතුළු කරමිනි. ඒ අවස්ථාවේදී එම ගේට්ටුවේ සුසාන භූමියේ ආරක්ෂකයන් සිටි බවක් නම් මෙතෙක් තහවුරු වූ බවක් දැනගන්නට නැත. ආරක්ෂකයන් සිටියත් නැතත් බොරැල්ල පොදු සුසාන භූමියට වාහන ඇතුළු කිරීමේදී කිසිදු පරීක්ෂාවකට ලක් වන්නේ නම් නැත. හිතූ හිතූ හැටියට ඕනෑම අයෙකුට වාහනයක් සුසාන භූමියට දමා එහි කාලය ගත කිරීමට තරම් නිදහස් පසුබිමක් ඒ වන විට එහි පැවතියේය.

ආරක්ෂක කැමරා දත්ත විමර්ශනයේදී පැහැදිලිවම හෙළි වන්නට වූ කරුණු විශ්ලේෂණයේදී පෙනී යන කරුණක් වන්නේ පැය භාගයකින් නැවත පැමිණෙන බව කියා නිවසින් පිටත් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ගමනාන්තය වූයේ බොරැල්ල පොදු සුසාන භූමිය බවය.

ගමනාන්තය කරගත්තේ සුසාන භූමිය පෙනී පෙනී කෙටි ආහාර පාර්සල් දෙකක් ලබා ගත්තේ සුසාන භූමියේදී හමුවීමට නියමිත අමුත්තෙක් වෙනුවෙන් බව ද ඒ අනුව අනුමාන කිරීමට පුළුවනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණින් පසු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී පවා ඒ ලබාගත් ආහාර කැබලි ඔහුගේ බඩවැල් අතර තිබී හමු වීමෙන් පවා තහවුරු වන්නේ මලලසේකර මාවතෙන් මිලදී ගත් කෙටි ආහාර ඔහු සුසාන භූමියේදී හෝ ඒ එන අතරතුර මෝටර් රථයේදී ආහාරයට ගෙන ඇති බවය.

ඒ එක් කෙටි ආහාර බෑගයක් දිනේෂ් ෂාෆ්ටර් විසින් හිස් කළේ නම් දෙවැනි පැකට්ටුවට සිදු වූයේ කුමක්ද? එය ආහාරයට ගෙන ඇත්තේ වෙන කිසිවෙක් නොව, සුසාන භූමියේදී දිනේෂ් ෂාෆ්ටර් මුණ ගැසෙන්නට ගිය ඔහුගේ ඝාතකයා විසින් බවට අනුමාන කළ හැකිය. මෙම කෙටි ආහාර වේල මෙහිදී බොහෝ දේ කියා පාන්නේය. එනම් නොදන්නා අයෙක් වෙනුවෙන් ඔහු කෙටි ආහාර වේලක් ලබාදීමට සුසාන භූමියක් වැනි ස්ථානයකට රැගෙන යැයි දැයි කියාය. මෙමඟින් පැහැදිලි වන්නේ දිනේෂ් ෂාෆ්ටර් සුසාන භූමියේදී මුණ ගැසීමට ගිය පුද්ගලයා ඔහුට වඩාත් හිතෛෂී අයෙක් බවය. එම ගමන විනාඩියෙන් දෙකෙන් සමු දෙන කතාබහක් නම් කෙටි ආහාර වේලක් එතැනට කිසිසේත්ම අවශ්‍ය නොවනු ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මේ ගමන පැය භාගයකට සැලසුම් වී නොතිබුණු ගමනක් බවය.

එහෙත් මේ ගමන ගැන දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය තරමක් කලබල වූයේ ඇයි දැයි ඇත්තේ ගැටලුවකි. ඒ ගැන දන්නේ ඇය පමණි. ඇය වරෙක පොලිසියට පවසා තිබුණේ එදින රාත්‍රී කාලයේ එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු බැවින් ගුවන් තොටුපොළ වෙත කල්වේලා ඇතිව යාමට අවශ්‍ය බැවින් එසේ කලබලවී ඔහු සිටින තැන සොයා බැලූ බවය. සවස 2.30ට ඇය කලබල වී තිබුණේ රාත්‍රී 8.30ට ගුවන් ගතවන ගුවන් යානයක ගුවන් ගමනක් ගැන බව විමර්ශකයන්ට ද පෙනී ගිය කරුණකි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන ක්‍රිෂ් පෙරේරා පොලීසියට කියා ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් එදින සවස 1.00ත් 1.30ත් අතර කාලය තුළ බී.ටී.ව මුණ ගැසීමට යන බව තමාට පැවසූ බවකි. බී.ටී. යනුවෙන් ඔවුන් හඳුන්වනු ලබන්නේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් වූ බ්‍රයන් තෝමස්වය. ක්‍රිෂ් පෙරේරා කියන්නට උත්සාහ ගත්තේ දිනේෂ්ගේ ඝාතනයට බ්‍රයන් තෝමස් වගකිව යුතු බවකි. පොලිසිය හමුවේ ඔහු පෙන්වා දෙන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර්ට රුපියල් කෝටි 160ක මුදලක් බ්‍රයන් තෝමස් වංචා කර ඇති බැවින් මෙම අපරාධය ඒ නිසාම බ්‍රයන් අතින් සිදුවී ඇති බවකි. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද මේ වන විට ක්‍රියාත්මකය. ඒ දිනේෂ් ෂාෆ්ටර් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ලකට අනුවය. කෝටි 160ක් යැයි කීවාට එම ගාන ඊට වඩා ටිකක් අඩුය. ඒ රුපියල් කෝටි 140කි.

අධිකරණයේ නඩුවක් විභාගයේ පවතින අවස්ථාවකදී බ්‍රයන් තෝමස්ව සුසාන භූමියකදී දිනේෂ් ෆාෂ්ටර් නතිවම ගොස් හමුවේවිද? මේ විමර්ශන ආරම්භයේදීම විමර්ශකයන්ට ගෙන දුන් ප්‍රහේලිකාවකි. ඒ ගැන ද විමර්ශකයන් විශේෂ අවධානයක් යොමු කර පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින ඔහු සිය නිවෙසින් එළියටවත් බැස නැති බවය. ඒ හැරුණු කොට තවත් විද්‍යාත්මක සාක්ෂි රැස්කිරීමකින්ද පෙනී යන්නට වූයේ බ්‍රයන්ගේ සම්බන්ධයක් මෙම ඝාතනයට නැති බවය. ඒ මෙතෙක් කර ඇති විමර්ශනවලදීය. ඉදිරියේදී විමර්ශන කුමන මාවතකට ගමන් ගනීවි දැයි කිව නොහැකිය. ඒ කොන්ත්‍රාත්තුවක් දෙමින් ඝාතනයක් කිරීමට ඇති හැකියාව කොතෙකුත් ඇති බැවිනි. ඒ තර්කය පවා බිඳ වැටෙන්නේ සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් තවකකුටත් එක්ක කෙටි ආහාර වේලක් ද රැගෙන ගොස් ඇති බව කියැවෙන නිසාය. ඒ ඔහු එදා සුසාන භූමියේදී හමුවන්නට ගියේ කෙටි ආහාර වේලක රස විඳිමින් කතාබහක නිරත වන අයෙක්ව මුණ ගැසීමට ගිය නිසා බවට වූ තර්කයන්ද ගොඩනැඟෙමින් ඇති බැවිනි. දිනේෂ් ෂාෆ්ටර් මහ මඟදී ඝාතනය වූයේ නම් කොන්ත්‍රාත්තුවක් දෙමින් ඔහුව ඝාතනය කළේ යැයි කියන්නට හෝ සැකකරන්න හැකියාව ඕනෑ තරම්ය. එහෙත් බැලූ බැල්මටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට පෙනී ගියේ බ්‍රයන් තෝමස් මෙම ඝාතනයට පැටලීමේ කුමන්ත්‍රණයක් ද මේ තුළ තිබී ඇති බවය. බ්‍රයන්ගේ ජංගම දුරකතනට එදා සවස 2.30න් පසු දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් ලැබී තිබී ඇත්තේ “ ඔයා එනකම් මම ඉන්නවා“ යනුවෙන් හැඟවෙන ඉංග්‍රිසියෙන් යොමුකළ පණිවුඩයකි. ඒ වන විට දෙදෙනා අතර කිසිදු හමුවක් හෝ කතාබහක සූදානමක් නොතිබුණු බැවින් බ්‍රයන් තෝමස් ඊට පිළිතුරක් යොමු කරනු ලබන්නේ “මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ.“ යනුවෙන් අර්ථය ගැන්වෙන ඉංග්‍රීසියෙන් සටහන් තැබූ කෙටි පණිවුඩයකි.

මේ ගැන කරුණු අධ්‍යයනය කිරීමේදී විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් අපරාධකරුවකුගේ හෝ කිහිප දෙනකුගේ ගොදුර බවට පත්වීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකතනයෙන් මෙම පණිවුඩය බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකතනයට යොමු කර ඇති බවකි. ඒ අනුව පැහැදිලි වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනය පිළිබඳව ද යම් අවබෝධයක් ඇති අයකු මෙම අපරාධයට සම්බන්ධව සිට ඇති බවකි.

බොරැල්ල පොදු සුසාන භූමියේ දේවි බාලිකා විද්‍යාලය දෙසින් ඇති ආදාහනාගාරය ආසන්නයේ ඇති ගුවන් හමුදා සාමාජිකයන්ගේ අළු තැන්පත් කරමින් ගොඩනඟා ඇති ස්මාරකය අසලින් දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ අපරාධකරුවන්ගේ ගොදුර බවට පත්ව සිටියදී සොයා ගන්නේ ක්‍රිෂ් පෙරේරාය. ඔහු එතැනට යන්නේ ටානි ශමින්ගේ දැනුම්දීමට අනුවය. ටානි ශමින් පවසන ආකාරයට අනුව ඇය මේ ගැන ක්‍රිෂ් පෙරේරාට කියා ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් නිවසින් පිටත්ව ගොස් පැය භාගයකට පසුවය. ඒ සවස 2.30 හෝ ඒ ආසන්න කාල පරාසයක් තුළදීය. ක්‍රිෂ් පෙරේරා පවසා තිබුණේ ඒ ඇමතුම ලැබෙන විට තමා සිටියේ සිය දරුවන් දෙදෙනා පාසලෙන් නිවසට ඇරලවීම සඳහා ගොස් සිටියදී එම ඇමතුම ලද වහාම ඔහු කළා යැයි කියන්නේ දරුවන්ව නිවෙසට යවා ඔහු සේවයේ නිරත සමාගමෙන් කැබ් රථයක් ගෙන්වා ගෙන බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගිය බවය. එම රථයේ රියදුරු ලෙස ඒ වන විට සිට ඇත්තේ නිහාල් නැමැති අයෙකි.

විමර්ශනවලින් පෙනී යන ආකාරයට අනුව ක්‍රිෂ් පෙරේරා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගොස් ඇත්තේ ටානි ශමින්ගේ දුරකතන ඇමතුම ලැබී විනාඩි දහ පහළොවක් යන්නට මත්තෙනි. ඔහු සුසාන භූමියට ඇතුළු වන්නේ ද දිනේෂ් ෂාෆ්ටර් සුසාන භූමියට ඇතුළු වූ පැත්තෙන්මය. දිනේෂ් ෂාෆ්ටර් සොයා මෙහිදී ක්‍රිෂ් පෙරේරා සුසාන භූමියට ඇතුළු වන්නේ ද තනිවමය. ඒ ඔහු පැමිණි කැබ් රථයේ රියදුරුට මොඩල් ෆාම් පාරේ රථය නතර කරගෙන සිටින ලෙස දැනුම් දෙමිනි. එසේ සුසාන භූමිය වෙත කැබ් රථය ඇතුළු නොකර, මාර්ගයේ නතර කරන්නට රියදුරුට තමා දැනුම් දුන්නේ යැයි ඔහු කියන්නේ ඒ වන විට සුසාන භූමියට වාහන ඇතුළු කරන දොරටුව අසල යම් තදබදයක් පැවති නිසා බවය. මේ කාරණා සම්බන්ධයෙන් තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. විමර්ශකයන් මේ ගැන පැහැදිලි නිගමනයකට තාමත් එළඹ ඇති බවක් පෙනෙන්නට නැත. විද්‍යාත්මක සහ පරිවේෂණාත්මක සාක්ෂි රැස්කර ගැනීමෙන් අනතුරුව ඒ ගැන ක්‍රිෂ් පෙරේරාගෙන් ඉදිරි දිනෙක විමර්ශකයන් ප්‍රශ්න කර නිරාකරණය කර ගැනීමට ඇති ගැටලුවලට විසඳුම් සොයා ගනු ඇත.

ක්‍රිෂ් පෙරේරා පවසන හැටියට දිනේෂ් ෂාෆ්ටර්ව සොයා ඔහු සුසාන භුමියට ඇතුළු වී ඇත්තේ තනිවමය. එසේ ගොස් ඔහු හරියටම දිනේෂ් ෂාෆ්ටර් රැඳී සිටි ස්ථානය සොයා ගත්තේය. ඒ මෝටර් රථය සුසාන භූමියේ 09 වැනි පටුමගේ නතර කර තිබෙනු දැකය. එතැනට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු දකින්නේ දිනේෂ් ෂාෆ්ටර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇති ආකාරයය. එහිදී ඔහුට තමා සමඟ පැමිණි රියදුරු නිහාල්ව මතකයට ආ බවක් පෙනෙන්නට නැත. සුසාන භූමියේ ඈත කොනක මිනියක් වළලෑමට වළක් කපමින් සිටි කම්කරුවෙක් දුටු ඔහු කෑ ගසා ඔහුට කතා කර එතැනට ගෙන්වා ගත්තේය. කොළඹ මහා නගර සභාවේ සේවකයෙක් වන එම කම්කරුවා සිතන්නේ සුසාන භූමියේ අවමඟුලක් සඳහා පැමිණි අයෙක් රෝගී වී ඇති බවකි. එය අපරාධයක් බව ඔහුට පෙනෙන්නට වූයේ එතැනට පැමිණි පසුවය. දිනේෂ් ෂාෆ්ටර් ඒ වන විට සිටියේ රියදුරු අසුනේය. ඔහුගේ ගෙල වටා වයරයක් සිර කර තිබුණු අතර, එහි කොන් දෙක තිබුණේ රියදුරු අසුනට තබා ගැට ගසාය. දැන් තිබෙන්නේ කේබල් ටයිවලින් සිර කරය. ක්‍රිෂ් පෙරේරා එම බැමි වලින් දිනේෂ් ෂාෆ්ටර් ව ගලවන්නේ කම්කරුවා ඔහු වෙත පැමිණ සියල්ල දුටු පසුවය. ඒ කම්කරුවාගේ සහය ද ඇති බවය. අනතුරුව ක්‍රිෂ් පෙරේරා උත්සාහ දරන්නේ රියදුරු අසුන පිටුපසට නවා දිනේෂ් ෂාෆ්ටර්ව පිටුපස අසුනට දමන්නටය. එය ව්‍යාර්ථ වූ තැන දිනේෂ් ෂාෆ්ටර්ව රියදුරු අසුනට යාබද අසුනට බොහෝම අමාරුවෙන් ඇද දමා ගන්නා ක්‍රිෂ් පෙරේරා රියදුරු සුක්කානම අතට ගන්නේ කොළඹ ජාතික රෝහලට යන මාර්ගය නොදන්නා බව කියා කම්කරුවාව ද එහි නංවා ගෙනය. විමර්ශන වලින් පෙනී යන ආකාරයට අනුව සවස 3.00ත් 3.15ත් අතර කාලය තුළ ඔවුන් සිට ඇත්තේ ජාතික රෝහලේය. ඒ වන විටත් දිනේෂ් ෂාෆ්ටර් සිට ඇත්තේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නරත වෙමිනි.

ටානි ශාමින් පවසන්නේ ඒ කාලය තුළ තමා දිගින් දිගටම ක්‍රිෂ් පෙරේරාගේත් සිය සැමියා වූ දිනේෂ් ෂාෆ්ටර්ගේත් ජංගම දුරකතනවලට ඇමතුම් ලබාගනිමින් සිටි බවය. ඒ දෙදෙනාම දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද ඇය කියන්නීය. අවසානයේදී ඇයට සිය සැමියාගේ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් ලැබුණේ යැයි කියන්නේ සවස 3.17ට පමණය. එම පුද්ගලයා කවුරුන්දැයි ඇය කියන්නට දන්නේ නැත. ඒ තැනැත්තා සිය සැමියා හෝ ක්‍රිෂ් පෙරේරා නොවන බව පමණක් ඇය දන්නීය. ඇමතුමට ප්‍රතිචාර දැක්වූ තැනැත්තා ඇයට පවසා ඇත්තේ ඉක්මනින්ම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පැමිණෙන ලෙසය.

ඒ අනුව ඇය රෝහලට එන විට ක්‍රිෂ් පෙරේරා සිටින්නේ සුසාන භූමියේ කම්කරුවා සමඟිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය නතර කර තිබුණු ස්ථානයේ සිට යම් පුද්ගලයෙකු වේගයෙන් ඉවත්ව යන අයුරු සුසාන භූමියේ වළකපමින් සිටියදී යාන්තමට මෙන් කම්කරුවා දැක තිබුණේය. ඒ ක්‍රිෂ් පෙරේරා එතැනට ඇවිත් උදව් ඉල්ලා කෑ ගසන්නට මොහොතකට පෙරය. සුසාන භූමි කම්කරුවා මේ ගැන ජාතික රෝහලේදී කියන විට ක්‍රිෂ් පෙරේරා සිය ජංගම දුරකතනයේ ඇති ඡායාරූප කිහිපයක් පෙන්වමින් “ මෙයා නේද ඒ ගිය කෙනා “ යනුවෙන් පවසමින් යම් හඳුනා ගැනීමකට දැඩි උත්සහයක නිරත වූ බවට තොරතුරුද විමර්ශකයන්ට ලැබී ඇත්තේය. ඔහු එසේ කම්කරුවාට පෙන්වමින් හඳුනා ගැනීමට උත්සාහ දරමින් සිට ඇතැයි කියැවෙන්නේ බ්‍රයන් තෝමස්වය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය නතරකර තිබුණු ස්ථානයේ සිට යම් පුද්ගලයෙක් ගමන් කරන අයුරු කම්කරුවා දකින්නේ ඡායාවක් මෙන් බැවින් ඔහුට ඒ පුද්ගලයා බ්‍රවන් තෝමස් ද නැති නම් වෙනත් අයෙක්දැයි කියා හදුනා ගැනීමට තරම් හැකියාවක් නොවීය. ඒ නිසාම ඔහු ඒ ඡායාරූපය හඳුනා ගන්නට නොගියේය. බැරිවෙලාවත් ඔහු එම හඳුනා ගැනීම කළේ නම් අද බොහෝ විට බ්‍රයන් තෝමස් සිටින්නේ කොතනකදැයි සිතා ගන්නට බැරිය.

මෙම අපරාධය ගැන බොරැල්ල පොලිසිය විසින් මූලික විමර්ශන ආරම්භ කරන පළමු අවස්ථාවේදී පවා ක්‍රිෂ් පෙරේරා පුන පුනා කියා ඇත්තේ මෙම අපරාධයට බ්‍රයන් තෝමස් සැක කරන බවකි. එම සැකය තීව්‍ර කරන්නට වූයේ ටානි ශමින්ද පොලිසිය හමුවේ සිය සැමියාට මෙම අපරාධය කර ඇත්තේ බ්‍රයන් තෝමස් හෝ ඔහු විසින් කිසියම් අයෙක් යොදවා කරවන්නට ඇති බව කියමිනි.

දිනේෂ් ෂාෆ්ටර් මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලොකු හිත් වේදනාවකින් සිටි බව ද ඇය මෙහිදී කියන්නට වූවාය. ඒ ගැන තමා දැන සිටියත් සැමියා තමාට ඒ ගැන කිසිවක් නොකියූ බව ද ඇය පැවසුවාය. එසේ සැමියා තමාට ඒ බව නොකියා සිටින්නට ඇත්තේ තමා එය අසා කලබල වනු ඇතැයි සිතා බව ද ඇය මෙහිදී කියන්නට වූවාය.

ඇය පොලිසිය හමුවේ එක හෙළා කියන්නට වූයේ සිය සැමියාට මෙවන් කරදරයක් කරන්නට බ්‍රයන් තෝමස් හැරුණු කොට වෙන හතුරෙක් නොමැති බවකි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයේ සැකය මුල් අවස්ථාවේදී බ්‍රයන් තෝමස් වෙත දිග හැරෙන්නට වූයේ එසේය. දැන් ඒ සැකය එල්ල වී ඇත්තේ වෙනත් පැත්තකටය. ඒ අය කවුරුන්දැයි හඳුනා ගෙන ඇතත්, තවමත් ඔවුන්ව නීතිය හමුවට ගෙන එන්නට විමර්ශන නිලධාරීන් කල්මරමින් සිටින්නේ ඊට තවමත් ශක්තිමත් සාක්ෂි ප්‍රමාණවත් ලෙස නොමැතිකම නිසාය.

මෙම ඝාතනය හා ඔහුගේ ව්‍යාපාරික ගනුදෙනුවක් බැඳී තිබේද? එසේත් නොමැති නම් වෙනත් සිදුවීමක් මුල් කරගෙන මෙම අපරාධය දිනේෂ් ෂාෆ්ටර් ට සිදුවී තිබේද යන්න කෙරෙහි ඇත්තේ බලවත් සැකයකි. ඒ ගැන කරුණු හෙළිකර ගැනීමට විද්‍යාත්මක විමර්ශන ගොන්නක්ම මේ වන විට සිදු වෙමින් ඇත්තේ දිනේෂ්ගේ ජංගම දුරකතනයේ සිට බැංකු ගිණුම දක්වා වූ සියලු තොරතුරු පරීක්ෂාවට ලක්කරමිනි. මෙහිදී දිනේෂ්ගේ පමණක් නොව, සැකයට ලක්වුණු තවත් අයකුගේ ද හැඳුනුම්පත් අංක දෙකක් ඔස්සේ මෙරට බැංකු 16ක් පීරා තොරතුරු සොයන්නේ ඒ අයට එම බැංකුවල ඇති ගිණුම් ගැන තොරතුරු දැන ගැනීමටය. දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයන් දෙදෙනාගෙන් ද ඒ අතර ප්‍රශ්න කරමින් ව්‍යාපාරික ගනුදෙනු ගැන බොහෝ තොරතුරු විමර්ශකයන් දැන ගත්තේය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ට හිමිව තිබුණු ව්‍යාපාරික කොටස් සම්බන්ධයෙන් පැවති ආරවුල් ගැන ඇති තොරතුරු විස්තරාත්මකව නිවැරදි ලෙස දැන ගන්නටය.

ඒ හැරුණු කොට ඇතැම් මඟ හැරුණු තොරතුරු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් විසින් දිනේෂ් ෂාෆ්ටර් ගේ ජංගම දුරකතනය මෙන්ම ඔහුගේ බිරිඳ ටානි ශමින්, මිතුරා වන ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමියේ සේවකයාගේ මෙන්ම කාර්යාල සේවකයකුගේත් ජංගම දුරකතන පවා ජාල පරික්ෂාවකට යොමු කර ඇත්තේ වැදගත් තොරතුරු ඒ තුළ සැඟවී තිබෙන්නට හැකි බැවින් ඒවා මතු කර ගන්නටය. ඒ විමර්ශනයේදී වැදගත් සාක්ෂි හෝ තොරතුරු මේ තුළින් මතු කර ගැනීමෙන් ඝාතකයා හඹා යෑමට ඒ සෑම සියුම් කරුණක්ම ඉතා වැදගත් සාධකයක් බවට පත්වනු ඇති බැවිනි.

මේ අය ගැන පමණක් නොව, විමර්ශකයන් සිය පුළුල් විමර්ශන අවධානය දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි මල් පාරේ පිහිටි නිවසට ආරක්ෂාව ලබාදී ඇති සමාගමේ ආරක්ෂක නිලධාරීන් කෙරෙහි ද නිවසේ මෙහෙකරුවන් කෙරෙහි ද යොමු කර ඇත. ඒ ප්‍රශ්නගත ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට ඒ අයගේ සහය ලබා ගන්නටය. ඒ දිනේෂ් ෂාෆ්ටර් රියදුරු නොමැතිව තනිපංගලමේ මේ ආකාරයට මෝටර් රථයේ මෙයට පෙර ගමන් කර තිබේද? ඔහු ඝාතනය වූ දින හැසිරීමේ වෙනසක් දුටුවේ ආදි කරුණු බොහොමයකට පිළිතුරු සොයා ගන්නටය. ඒ දිනේෂ් ෂාෆ්ටර් වැනි ඉහළ තලයේ සිටින ව්‍යාපාරිකයෙක් රියදුරු නොමැතිව තනිපංගලමේ ගමන් බිමන් යෑම සැකයට පමණක් නොව, විමතියට ද කරුණක්ව බවට මේ වන විට පත්ව ඇති බැවිනි. ඊටත් වඩා මෙහිදී වඩාත් විමතිය දනවන්නක් බවට පත්ව ඇත්තේ ලංකාවේ ලොකුම සුසාන භූමියට ගොස් මෝටර් රථයේ රැඳී සිටිමින් ෂෝට් ඊට්ස් කකා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට තරම් ඔහුට සිටි සමීපතමයා කවුරුන්දැයි කියාය. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයේ අභිරහස විසඳිය හැක්කේ ඒ සමීපතමයා කොටු කර ගැනීමෙන් පමණි. විමර්ශකයෝ මේ වන විට පැය 24 පුරාම වෙහෙසෙමින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින්නේ එම සමීපතමයාට එරෙහිව බලවත් සාක්ෂි රැස් කරමිනි. ඒ එම සමීපතමයා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට කඩිනමින් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතිවය.

ගයාන් කුමාර වීරසිංහ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂාෆ්ටර් ඝාතකයා හොඳින්ම දන්නා කියන අයෙක්! බිරියයි-මිතුරායි පුන පුනා බ්‍රයන් තෝමස් සැක බව කිව්වේ ඇයි? සැකසහිත කරුණු රැසක්!
ෂාෆ්ටර් ඝාතකයා හොඳින්ම දන්නා කියන අයෙක්! බිරියයි-මිතුරායි පුන පුනා බ්‍රයන් තෝමස් සැක බව කිව්වේ ඇයි? සැකසහිත කරුණු රැසක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIgZ5z-ZmhVX4Tp1PfcgaUpE_EQezKqSZmqkkRq64GdCE6P9hFgDpACBkmZGaolV-e9UTvKzfASGs7f26hHRhy6R_yP1BLf-83PxO1uL17elXrP1iR65fP-ddDtbLWN8fYwR3pjVybvnS4-d0uwWAN2qAd9UrVDqytBcl1_wkdbN1d2A5eu77hvQ/w320-h171/Dinesh-Shafter.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIgZ5z-ZmhVX4Tp1PfcgaUpE_EQezKqSZmqkkRq64GdCE6P9hFgDpACBkmZGaolV-e9UTvKzfASGs7f26hHRhy6R_yP1BLf-83PxO1uL17elXrP1iR65fP-ddDtbLWN8fYwR3pjVybvnS4-d0uwWAN2qAd9UrVDqytBcl1_wkdbN1d2A5eu77hvQ/s72-w320-c-h171/Dinesh-Shafter.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy