අද (04) දිනයේදීත් දිවයින පුරා ස්ථාන රැසක මහජන විරෝධතා පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය 31 වනදා සිට අඛණ්ඩව පැවැත්වෙන මෙම මහජන විරෝධතා වැළැ...
අද (04) දිනයේදීත් දිවයින පුරා ස්ථාන රැසක මහජන විරෝධතා පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය 31 වනදා සිට අඛණ්ඩව පැවැත්වෙන මෙම මහජන විරෝධතා වැළැක්වීමේ අරමුණින් ඊයේ දිනයේදී දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබුණ ද ජනතාව එම ඇඳිරි නීතිය නොතකා වීදි බැස සිය විරෝධය පළ කරනු දැකගත හැකිවිය.
එම දැවැන්ත මහජන විරෝධය හමුවේ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඊයේ රාත්‍රිය වනවිට වාර්තා වී තිබිණි.
කෙසේවෙතත් විරෝධතා ආරම්භ කළ අවස්ථාවේ සිටම ජනතාවගේ ඉල්ලීම වී තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඉල්ලා අස්විය යුතු බවට ය. එමෙන්ම ජනතාවට බලපා ඇති ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ගෑස් හිඟය වැනි ගැටලුවලට විසඳුම් ලැබෙන ආකාරයක් ද මෙතෙක් නිශ්චිතව පෙන්නුම් කර නැත. මීට අමතරව වත්මන් රජයේ දූෂිත අමාත්‍යවරුන්ට නැවත තනතුරු ලැබෙන භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් ද ජනතාවගේ එකඟත්වයක් නොමැති බව ඔවුන්ගේ විරෝධතා අනුව පැහැදිලි ය.
ඒ අනුව අද දිනයේත් දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව වීදි බැස සිය විරෝධය පළ කරනු ඇත. මේ ජනතාව වීදි බසින්නේ, අරගල කරන්නේ කිසිදු දේශපාලන පක්ෂයක මෙහයවීමකින් තොරව වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

COMMENTS