මල්වානේ ඉදිකළ නිවස ඉදිකිරීම සඳහා වූ වියදම් සිදු කළේ තමා යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ තමාට සිදු කළ බලපෑම් මත බව වරලත් ගෘහ...
මල්වානේ ඉදිකළ නිවස ඉදිකිරීම සඳහා වූ වියදම් සිදු කළේ තමා යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ තමාට සිදු කළ බලපෑම් මත බව වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි නමැති සාක්ෂිකරු මහාධිකරණය හමුවේ කියා සිටියේය.
දොම්පේ මල්වාන මාපිටිගම ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර සත්ව ගොවිපළක් පවත්වා ගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධ නඩුව ඉකුත් 21 වැනිදා ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇසූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදිත ජයකොඩි මෙසේ පැවසීය.
මේ නඩුව වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඬේසන් යන මහතවරු දෙදෙනාට එරෙහිව නීතිපති විසින් පවරා ඇති අතර මේ නඩුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේදී පසුගියදා විභාග කෙරුණි.
රජයේ අධිනීතිඥ ඔස්වල් පෙරේරා සහ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සනිල් කුලරත්න යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියහ.
එදින මුදිත උපාලි ජයකොඩි යන සාක්ෂිකරුගේ සාක්ෂිය අවසන් කෙරිණි.
තවත් සාක්ෂිකරුවන් සිවු දෙනකුට මාර්තු 11 වැනිදාට මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට සිතාසි නිකුත් කෙරිණි.
මහාධිකරණය හමුවේ පෙනීසිටි බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඬේසන් යන දෙදෙනාට මාර්තු 11 වැනිදාට මහාධිකරණය හමුවේ යළි පෙනීසිටින ලෙසට ද නියම විය.
මේ නඩුවට නවීන් මාරපන, ඞී. ඒ. පී. වීරත්න, ජයන්ත වීරසිංහ සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥවරුන් සමඟ 23 දෙනෙකුගෙන් යුත් නීතිඥ කණ්ඩායමක් මහාධිකරණය හමුවේ පෙනීසිටියේය.
-srilankamirror

COMMENTS