ශ්‍රී ලංකා මුහුදේ දී ගිනිබත් වූ X-PRESS PEARL නෞකාවේ කපිතාන් වන රුසියානු ජාතික ටියූට්කාලෝ විටාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජය...
ශ්‍රී ලංකා මුහුදේ දී ගිනිබත් වූ X-PRESS PEARL නෞකාවේ කපිතාන් වන රුසියානු ජාතික ටියූට්කාලෝ විටාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඊයේ (14) කොළඹ මහාධිකරණයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට චෝදනා කර තිබෙනවා. නැවේ ගින්න පාලනය නොකොට වන්දි ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගින්න පැතිරවීමට ඉඩ දී තිබුන බව පවසමින් බව The Morning පුවත්පත වාර්තා කරනවා.
නෞකාවේ ඇති වූ ගින්නක් සම්බන්ධයෙන් කපිතාන් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දීමෙන් පසු පස්වරු 4.30 ට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් නෞකාවට ගොඩ වූ බවත් එහිදී පැය එකහමාරක් පමණ කාලයක් ඔවුන් විසින් නෞකාව පරීක්ෂා කර ඇති බවත් ජනාධිපති නීතිඥ ජයමාන්න සඳහන් කරනවා.
ඒ අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වන විට කපිතාන්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් යාත්‍රාවේ ඇති කන්ටේනරයක ඇසිඩ් කාන්දු වීම සඟවා ඇති බවයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කළේ එමඟින් රටේ සමුද්‍රීය පරිසරයට වන හානිය කෙටි හා දිගු කාලීන බලපෑම් ඇති කරන බවයි.
එසේම මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ සුන්බුන් සහිත නෞකාව හේතුවෙන් එම මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නැව්වලට ගමන් කළ නොහැකි තත්වයක් පැන නැගී ඇති බවයි. මේ අනුව, කපිතාන්වරයා සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 26 වන වගන්තිය උල්ලංඝනය කර ඇති බවද ඔහු පැවසීය.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID ) විසින් නෞකාවේ කපිතාන් විටාලි අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. මිලියන 2ක ඇපයක් මත ඔහුව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබුනා.
-newshub

COMMENTS