අලුතෙන් හැදූ කොරෝනා රෝහල්වල අත සේදීමට හෝ වතුර නොමැති බවත්, මේ තත්ත්වයෙන් ගියහොත් දැන් ඉන්දියාවට විසාලා මහනුවරක් යැයි කියනවා සේ ශ්‍රී ලංකාව...
අලුතෙන් හැදූ කොරෝනා රෝහල්වල අත සේදීමට හෝ වතුර නොමැති බවත්, මේ තත්ත්වයෙන් ගියහොත් දැන් ඉන්දියාවට විසාලා මහනුවරක් යැයි කියනවා සේ ශ්‍රී ලංකාවත් විසාලා මහනුවරක් වන බවට කිසි ම සැකයක් නැති බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මෙසේ පැවැසුවේ ඊයේ (මැයි 3) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද පැවැසූහ.
“1966 න් පසුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත් වූ අවාසනාවන්තම පරිච්ඡේදය මේ යැයි කනගාටුවෙන් හා අකැමැත්තෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදු වී තිබෙනවා. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ යමක් අසන්න, යමක් කියන්න, යමක් දැනුවත් කරන්නට කෙනෙක් නැහැ. ඒ තරම් දුරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ වගේ ම අමානුෂික හා අකාරුණික භාවය අතිනුත් අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මුල්තැනක් ගෙන තිබෙනවා.
ඕනෑ ම රාජ්‍ය සේවකයෙකුට අවුරුදු හතරක් පහක් යනවිට මාරුවීමක් ගන්නට පුළුවන් වුවද අවුරුදු 10, 12 වැඩ කරන අය අද රෝහල්වල සිටිනවා. කොතැනකවත් නොමැති නීති රීති මාලාවක් දමාගෙන අද හෙද කාර්ය මණ්ඩලය වහලුන් බවට පත් කරගෙන කටයුතු කරනවා. හෙද කාර්ය මණ්ඩලය එක දවසක් හෝ එළියට බැස්සොත් රටට කොරෝනා දරුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මහජනතාව ගැන කල්පනාකර කොපමණ අපහසුතා හා දුර්වලතාවයන් තිබුණත් ඒවා යටපත් කරගෙන සේවය ලබාදී තිබෙනවා.
උපකරණ, ඇඳන්, කාමර, දැඩි සත්කාර ඒකක සොයන්නේ කොරෝනා රෝගය උත්සන්න වූ පසුවයි. මේ ගැන අපි කල් ඇතිව පවසා තිබුණා. මේ පුහුණුව පෙර සිට ම ලබා දෙන ලෙස අපි පවසා තිබුණා. දැන් හය මාසයක පුහුණුවක් ලබා දෙන්න බැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෑමදා ම කළේ පැලැස්තර දැමීමයි. සෑම අඩුපාඩුවක් ම අපි කලින් ම පෙන්වා දුන්නා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයක්. වැඩ කළ හැකි, තීන්දු ගත හැකි සියලු දෙනා එහාට මෙහාට මාරු කර වගකීමක් නැතිව කටයුතු කර තිබෙනවා. මේ දේවල් නිසා අද රෝහල් සේවය තුළ බොහො ම භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන්වත් ටිකක් දුර බලන්න යැයි අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට කියනවා. සාකච්ඡා කරන දේවල් නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ.
ලංකාවේ සිටින්නේ හෙදියන් තිස් අට දහසක් වන අතර දැඩි සත්කාර ඇඳන් තිබෙන්නේ 761 වුවත් බී.එම්.ඩබ්ලිව්. වැනි සුඛෝපභෝගී වාහන දස දහසක් පමණ තිබෙනවා. එක් දැඩි සත්කාර ඇඳක රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමට හෙදියන් පස් දෙනෙක් අවශ්‍ය වුවත් එම ප්‍රමාණය නැහැ. ඒ වගේ ම දැඩි සත්කාර පුහුණුව මාස හයක් ලබා දිය යුතු වුවත් සති දෙකක පුහුණුවක් ලබාදී ගමු යැයි අමාත්‍යතුමිය ප්‍රකාශ කර තිබුණා. මෙසේ රවට්ටන්න හදන්නේ කවුදැයි අපි අහනවා. අපි මේවා ප්‍රකාශ කරන විට අපි ආණ්ඩු විරෝධීන් යැයි හංවඩු ගහනවා. අපි ආණ්ඩු විරෝධීත් නෑ. රාජ්‍ය විරෝධීත් නැහැ. අපි ජනතා සුභවාදීයි. මෙම අඩුපාඩු පෙන්වන්නේ ආණ්ඩුව නිසි මඟට ගන්නයි. තමන්ට ලැබෙන වරප්‍රසාද, වරදාන නැති වේවි යැයි සිතා කිසිවෙක් මේවා පෙන්වාදෙන්නේ නැහැ. නමුත් අපි මේවා පෙන්වන්නේ රටේ ජනතාව වෙනුවෙනුයි.
දැන් රෝගීන්ට ගෙදර ඉන්න කියනවා. මේක ඉන්දියාවක් නොකර අඩුපාඩු සොයා බලා පහසුකම් සකසන්න යැයි අපි කිව්වා. අලුතින් හදපු පොඩි කොවිඩ් රෝහල්වල අත සෝදන්න වතුර ටිකක්වත් නැහැ. මේවා හෙදියන්ගේ දුක් ගැනවිලියි.”
COMMENTS