ත මන්ගේ සමහර ප්‍රකාශනවල දී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක පවුලකට යැයි කියවෙන්න ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණ...
තමන්ගේ සමහර ප්‍රකාශනවල දී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක පවුලකට යැයි කියවෙන්න ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. එක පවුලකට සහල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත් බවට තමන් පසුගියදා මාධ්‍ය හමුවක දී කරන ලද ප්‍රකාශය පිළිබව කරුණු දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වෙළෙද අමාත්‍යාංශයේදී ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.
පුද්ගලික අංශය විසින් සපයන සහන මල්ල සතොස සපයන රුපියල් දහසේ සහන මල්ලට වඩා අඩු ප්‍රමිතියකින් යුතු බවද ඇමැතිවරයා කීවේය.
“අද විපක්ෂය මම කියපු වචනයක් අල්ලාගෙන සිටිනවා.එය කිසිම කෙනෙකුට හානියක් වන දෙයක් නොවෙයි. ලුණු කිලෝවක් පවුලකට සති දෙකකට ඇති. පරිප්පු කිලෝවක් සති දෙකකට ඇති. මම කියන දේ නොවෙයි වැදගත් වන්නේ කරන දේයි වැදගත් වන්නේ. මම ප්‍රකාශ කරද්දී සමහර ප්‍රකාශනවලදී යම් යම් කරුණු වරදින්න පුළුවන්. පුද්ගලයෙකුට කියන එක, පවුලකට කියලා කියවෙන්න පුළුවන්. ඒවා සිද්ධි විතරයි. කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් අසන්න පුළුවන් ජනතාවක් මෙම වැඩපිළිවෙළ වැළඳගෙන සිටින නිසා සතොස වෙළෙඳසැල් වල සාමාන්‍ය දෛනික අලෙවිය රුපියල් කෝටි දෙකකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.”

COMMENTS