සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය යටතේ පවතින සමුද්‍රා හෝටලයේ කාමර හා ආහාරපාන ලබාගෙන රුපියල් ලක්ෂ 54ක මුදලක් ගෙවීමට පැහැර හැර ඇතැයි යහපාලන රජයේ හ...
සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය යටතේ පවතින සමුද්‍රා හෝටලයේ කාමර හා ආහාරපාන ලබාගෙන රුපියල් ලක්ෂ 54ක මුදලක් ගෙවීමට පැහැර හැර ඇතැයි යහපාලන රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුට චෝදනා එල්ලවේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කළ මෙම හිටපු ඇමැතිවරුන් දෙදෙනා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරති.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයාගේ නිවස අලුත්වැඩියා කිරීම හේතුවෙන් ඔහු හෝටල් කළමනාකරණ ආයතනය ඉදිරිපස හෝටලයක මාස දහඅටක කාලයක් නතර වී සිට ඇත. එම හේතුවෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය යටතේ පවතින සමුද්‍රා හෝටලයේ කාමර දෙකක නතරව සිටි බවද අනාවරණය වෙයි.
එම කාමර දෙක වෙන් කරවාගෙන ඇත්තේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමිනි. ඔවුන් රැඳී සිටි කාලයට රුපියල් ලක්ෂ 40ක මුදලක් ගෙවිය යුතුව ඇත. එහෙත් මෙතෙක් එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇති බව සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය පවසයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු සංචාරක ඇමැතිවරයකු සමුද්‍රා හෝටලයෙන් ලබාගත් ආහාරපාන හා වෙනත් පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ දාහතක මුදලක් ගෙවිය යුතුව ඇත. එම මුදල්ද කඩිනමින් ගෙවන ලෙස දන්වා ලිපි යොමු කළ බව සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය සඳහන් කරයි.
උදයජීව ඒකනායක

COMMENTS