2019 වසර සඳහා වූ අයවැය පසුගියදා (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම වසර සඳහා වූ අ...
2019 වසර සඳහා වූ අයවැය පසුගියදා (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම වසර සඳහා වූ අය වැය පසුගිය නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද හදිසියේ ඇතිවූ ආණ්ඩු වෙනස නිසා එය සිදු කිරීමට නොහැකි වූ බව ආණ්ඩු පක්ෂය කියයි. ඒ අනුව වසරේ මුල් මාස කිහිපයක සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීම සිදු විය. ඒ අනුව 'ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක්, ජනතාව සවිබල ගන්වන, දුප්පතුන් පෝෂණය කරන අයවැය 2019' ලෙස එය ඉදිරිපත් කරයි. මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550කි. ආදායම රුපියල් බිලියන 2400කි. අයවැය පරතරය රුපියල් බිලියන 2150කි.
කෙසේ නමුත් මෙවර අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත ගණනාවක් එල්ල විඔය. එජාප පසු පෙළ පවා මෙම අයවැයට සහයෝගය නොදෙන බවද ප්‍රකාශ විය.
"නාමලුත් හෝම් ස්විට් හෝම් ගන්න යයි"
මේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති "හෝම් ස්විට් හෝම්" ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය විවාදයේදී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් සිටින අතරතුර එතුමාට ප්‍රශ්නයක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
හෝම් ස්වීට් හෝම් ණය මුදලේ වාරිකය කොපමණක් වනු ඇතිදැයි එහිදී නාමල් මන්ත්‍රීවරයා විමසීය. එහීදී නාමල් මන්ත්‍රීවරයා සහ නිරොෂන් පෙරේරා අමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇති විය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - හෝම් ස්විට් හෝම් ණය මුදල මේ අවුරැද්දේ මාත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මාසික වාරිකය දැනගන්න පුළුවන්ද?
ඇමති නිරෝෂන් පෙරේරා - පොලිය 6% යි. වසර 25 කින් ගෙවන්න තියෙන්නේ.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මම ඇහුවේ වාරිකය කීයද කියලා
ඇමති නිරෝෂන් පෙරේරා - වාරිකය කීයද කියල මට කියන්න බැහැ. ඔබතුමා ගන්න මුදල අනුව ගාණ හදලා බලන්න. ඔයාට ඇපවෙන්න තාත්තා ඉන්නවානේ බය වෙන්නෙ එපා යැයි සඳහන් කළේය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - තරැණයෙකුට ගෙයක් හදන්න ණය මුදලක් දෙන එන හොඳයි. නමුත් ඒක ගන්න අඩුම ගානේ ලක්ෂයකට වැඩි පඩියක් තියෙන්න ඕන. මාසෙකට රැපියල් 64 ,000 ගාණේ ගෙවන්න වෙනවා. ඒකේ පොලිය 6% යි කියලා කියනවා. එතකොට අනිත් ඉතුරු පොලිය ගෙවන්නේ කොහොමද . ජනතාවගේ බදුමුදලින් තමයි එකත් ගෙවන්න වෙන්නේ.
මේක විපක්ෂය නැති වෙන අයවැයක්
මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"අප රටේ අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වන විදුලිය අවම මිලකට නිෂ්පාදනය කරලා, අවම මිලක් යටතේ පාරිභෝගිකයාට ලබාදීලා, සෙතක් සලසන්නයි අපි අවධානය යොමු කරන්නේ. එහෙම නැති වුණාම වෙන්නේ අනපේක්ෂිත නිෂ්පාදන බිදවැටීම් වලදී, හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකර, ඒ සඳහා විශාල බිල් ගෙවීමයි. සීමිත සම්පත්, අසීමිත ඉල්ලීම් සදහා යොදාගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවට පුළුවන් උපරිමයෙන් සහන ලබාදෙන්න තමයි අපේක්ෂා කරන්නේ. මීටත් වඩා දෙන්න තිබෙනවානම් හොඳයි. ඒ පිළිබඳව අවධානය යොමුකරලා, අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ, යමක් කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. අපි ආණ්ඩුවක් වශයෙන් අයවැය ඉදිරිපත් කළේ විශිෂ්ඨ ආකාරයෙන් සම්මත කරගෙන ජනතාවට සහන සලසන්න මිසක්, කාටවත් බයේ කටයුතු කරන්න නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා සටන් කරලා අවසානයේ ජනතාව තමයි දුක් විදින්නේ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් එකගතාවයක් ඇති කරගෙන, එකට වැඩකරන්න පුළුවන් තත්ත්වයක් උදාකරගෙන සෙතක් සලසා ගත යුතුයි."
අයවැයෙන් ජනතාවට සහන දෙන්න බෑ
මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදිය නොහැකි බවත් එසේ සහන ලබාදෙන්නේ නම් එය තවදුරටත් රට අරාජික කරන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ආර්ථිකමය වශයෙන් අපහසු අඩියක තිබෙන රටක් අයවැයකින් සනසන්න පුළුවන්ද කියලා තමයි අපට තිබෙන ප්‍රශ්ණය. ජනතාවට සහන දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. දෙන්න පුළුවන් නම් ඒක තවදුරටත් රට අරාජික කරන වැඩපිළිවෙලක් තිබෙන්නේ. ඒක නිසා රටට ආපසු නැවත ආර්ථික, සමාජ,සංස්කෘතයක දර්ශනයක් අවශ්‍යයි.”
'සිහින සහන කරලා - සහන සිහින කරලා'
සිහින සහන හැටියටත්, සහන සිහින හැටියටත් පෙන් වූ ඛේමාගේ කොලුවාගේ අයවැයක් බවට 2019 අයවැය පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඒකාබද්ධ අරමුදල සෘණ මට්ටමකට වැටී තිබියදී ජනතාවගේ අතේ ඇති මුදල් සංසරණය කරවන්නට ආණ්ඩුව උත්සාහ ගන්නේ යැයි චෝදනා කළ හෙතෙම වසරේ ලොකුම බොරුව බවට අයවැය පත්ව ඇතැයි අවධාරණය කළේය.
එහිදී හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීය.
"අද වෙනකොට ඒකාබද්ධ අරමුදල තියෙන්නේ සෘණ මට්ටමේ. කෝටි විසි අටදාස් පන්සීයක් සෘණ තියෙන්නෙ. 2017 මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කළ රටේ ශේෂපත්‍රයට අනුව රටේ වත්කම් තියෙන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ හැට දෙදාස් දෙසීයයි. හැබැයි වගකීම් එහෙම නැත්නම් ණය රුපියල් කෝටි නව ලක්ෂ අසූ අටදාහක් පෙන්වනවා. එහෙම වෙන්න පුළුවන් ද? 2017 දෙසැම්බර් 31ට අපේ රටේ ණය පෙන්වනවා රුපියල් බිලියන නවදාස් පන්සීයක්. කෝටි නව ලක්ෂ පනස්අටදාහක්. වත්කම් කෝටි එක්ලක්ෂය නම් මේ රට පවතින්නේ කොහොමද? ඒකාබද්ධ අරමුදල සෘණ මට්ටමේ තියෙද්දි ආණ්ඩුව ජනතාවගේ අතේ තිබෙන මුදල් සංසරණය කරවන්න පොළඹවන යෝජනා සංඛ්‍යාවක් ගෙනැල්ලා තියෙනවා.
උදාහරණයකට නිවාස හදන්න පොළඹවනවා. ණය දෙන්නේ ආණ්ඩුව පොලියෙන් කොටසක් ගෙවලා. කසාද බඳින්න පොළඹවනවා. කොටසක් ගෙවනවා. සමෘද්ධි බැංකුවල තියෙන මිනිස්සුන්ගෙ තැන්පතු මුදල් අප්‍රේල් මාසයේ නොවැම්බර් මාසයේ යොදන්න කටයුතු කරවනවා. මේ හදන්නෙ ආර්ථිකේ පුම්බන්න. රටේ සල්ලි නැති නිසා ජනතාවගේ සල්ලි ටික ඇදලා ආණ්ඩුව ලකුණු දාගන්න හදන්නේ. සහන කියන්නෙ මේකට. ඇත්තටම ගත්තොත් සහන සිහින හැටියට දවටපු අයවැයක්. එහෙම නැත්තන් සිහින සහන හැටියට පෙන්නලා තියෙනවා. එහෙම බැලුවාම සිහින සහන හැටියට පෙන්නපු ඛේමාගෙ කොලුවගෙ අයවැයක් කියලා තමයි අපට කියන්න වෙන්නේ"
නිර්මාණශීලී බංකොලොත් ශේෂ පත්‍රයක්
"මේ වනවිට සමස්ත ලාංකික ජනතාවට නැතිවන්නට දෙයක් නැත. සියල්ල නැති වී හමාරය. එවැනි මොහොතක මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රංගය මට අර්ථකථනය කිරීමට සිදුවන්නේ පටාචාරා ආර්ථිකයක කිසාගෝතමියගේ රංගනයක් හැටියට යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.
ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතර ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය කඩාවැටී අවසන්ය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටී අවසන්ය. සේවා අංශවලදී ප්‍රවාහන, රක්ෂණවල නිරත වූ සේවකයන්ගේ ජීවන පැවැත්ම ද කඩා වැටී අවසන්ය. වසර 17කට පසුව හෙවත් 2001න් පසුව ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වන 3% ද වාර්තා විය.
පොලී අනුපාත කරටි කඩාගෙන යන්නට ඉහළ නැගලාය. ගත් ණයවල පොලී අනුපාත වාරික ගෙවාගත නොහැකිව මිනිසුන්ගේ දේපළ, ඉඩකඩම් බැංකුවලට සින්නවන තත්ත්වයක් නිර්මාණය වෙලාය. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගන්නා තැනට මිනිස්සු පත්ව සිටිති. අලුතින් රක්ෂා බිහිවීම වෙනුවට මෙතෙක් කලක් කර්මාන්තශාලාවල රක්ෂා කරමින් සිටි ජනතාවටද රක්ෂා අහිමි වෙමින් තිබේ. මේ නිසා විරැකියා පෝලිම දස දහස් ගණනින් තවත් දිගුව ඇත.
මහ බැංකුවේ මහ දවල් සිදු වූ මහා කොල්ලය නිසා බැංකු ක්‍රමය පිළිබඳ විශ්වාසනීයභාවය අහිමි වී තිබේ. විදේශිකයන් මේ දිනවල සිය මුහුණු පොත්වල හාස්‍යට ලක් කරමින් බෙදාහදාගන්නා පින්තූරයකි. එහි සඳහන් වන්නේ සොරු දෙදෙනකු විසින් අස්සන් කරන ලද මුදල් නෝට්ටුවක් ගෙන වෙළෙඳසලකට ගොස් භාණ්ඩ මිලදීගන්නා ජනතාව වෙසෙන රට කුමක්ද කියාය. උත්තරයට දෙන්නේ ශ්‍රී ලංකාවය. අසරණ වූ පටාචාරා නිර්වස්ත්‍රව විසඳුමක් සොයාගෙන ගියේ බුදුරජාණන් වහන්සේ හමුවටය. මෙහි වෙනස නම් මංගල සමරවීර ටයිකෝට් ඇඳ වොෂිංටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමය. එහෙත් මංගල සමරවීරට උත්තරයක් හොයාගැනීමට හැකිවුණේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීවේ තමන් සමඟ ලංකා ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන ගිවිසුම තවත් වසරකට දීර්ඝ කරන්නේද නැද්ද යන්න ගැන උත්තරයක් දෙන්නම් කියාය. එනිසා අද දවසේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා කළේ නැවතත් කිසාගෝතමියගේ චරිතය නිරූපණය කිරීමය. මළ බව නොදන්නා නමුත් මුළුමනින්ම මළ ආර්ථිකයක් කරේ තබාගෙන පැමිණි මුදල් ඇමැතිවරයා මේ පාර්ලිමේන්තුවෙන් උත්තර සෙවීම හරියටම නොමළ ගෙයකින් අබ සෙවීමකට මිස අන් කවරකට සමවේද?
පොදු ජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්
සිසුන්, ගොවීන්, ආයෝජකයන් ආදී වශයෙන් සකල ආකාරයේ මානව සම්පත් ඉලක්ක කරගත් වඩාත් ජනතාවට සමීප අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව කිව හැකිය. රටේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවා ආමන්ත්‍රණය කළ ජනතාවාදී අයවැයක් හැටියට එය හැඳින්වීමෙහි වරදක් නැති බව පොදු සැපයීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති හර්ෂද සිල්වා මහතා පැවසිය.
ශ්‍රී ලංකාව යනු මැදි ආදායම් උගුලක සිර වූ රටකි. එවිට අපට තවදුරටත් දුප්පත් රටවල් සමඟ තරග කර ඉදිරියට යෑම පහසු නැත. අඩු වැටුපට වැඩකරන රටවල් බොහෝමයක් තවත් ඇත. එවිට එම රටවලට ආයෝජකයන් ඇදී යෑම සාමාන්‍ය දෙයකි. ලෝකයේ රටවල් සියයට 80-90 පමණ ලංකාව නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාව තිබේ. එසේ නම් අප බැලිය යුත්තේ ජාත්‍යන්තරයේ තරග කිරීමට මෙතැනින් ඉහළට යන්නේ කෙසේද කියාය. ලංකාව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා තරගකාරීත්වයෙන් වැඩි භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරන්නේ කෙසේද කියාය. මෙය ඡන්ද පදනම් කරගත් අයවැයකට එහා ගිය පුළුල් ක්‍රියාදාමයකි.
ඉහළ ගණයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන රටක්වීමට රටක් හැටියට ලංකාව ඊට සූදානම් වියයුත්තේ කෙසේද? අපේ මූලික අවධානය යොමුවිය යුත්තේ එයටය. එහෙත් මේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමේදී අපට මුහුණදීමට හා විසඳාගැනීමට ඇති ප්‍රධාන කාරණයක් බවට අධ්‍යාපනය පත්ව තිබේ. ලංකාවේ බහුතරයක් සිසු සිසුවියන් වැඩි බරක් තබන්නේ බෞද්ධ සංස්කෘතිය, සිංහල, නර්තනය, දේශපාලන විද්‍යාව ආදී විෂයන්ටය. ඉතින් මෙවැනි මානව විද්‍යා විෂයන් වැඩිපුර හදාරන තත්ත්වයකදී ඉහළ වෙළෙඳපොළ තරගකාරීත්වයක් සහිත රටක් බවට ලංකාව පත්කර ගත හැකිද යන යථාර්ථවාදී ප්‍රශ්නය අප හමුවේ තිබේ. එයට පිළිතුර නම් නොහැකිය යන්නයි. මෙවර අයවැයේ එක් ඉලක්කයක් බවට මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම දැක්විය හැකිය. ශිෂ්‍ය ණය ලබාදීම හරහා අධ්‍යාපනය සඳහා වූ ආයෝජනය උපාය මාර්ගයක් බවට පත්කරන්නේ ඒ අනුවය.
දේශපාලඥයින් 2019 අයවැය ගැන එසේ අදහස් පළ කළත් මහජනතාව අයවැය ගැන දක්වන අදහස් විමසා බලන්න ඒෂියන් මිරර් අප අමතක කළේ නැත.
එම වීඩියෝව පහතින්,
COMMENTS