අක්කර 465ක වපසරියකින් යුතු මෙම වෙල් යාය සම්පූර්ණයෙන්ම අස්වද්දා ඇති නමුත් මේ වන විට එහි ගොවියන්ට ජල අර්බුදයක් මතුවී තිබේ. බෙලිහුල් ඔයෙන් ...
අක්කර 465ක වපසරියකින් යුතු මෙම වෙල් යාය සම්පූර්ණයෙන්ම අස්වද්දා ඇති නමුත් මේ වන විට එහි ගොවියන්ට ජල අර්බුදයක් මතුවී තිබේ.
බෙලිහුල් ඔයෙන් මෙම මහා වාරි ව්‍යාපෘතිය සදහා ජලය ලබා ගන්නා අතර වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් බෙලිහුල්ඔයේ ද ජල මට්ටම අඩු වී තිබේ. මේ හේතුවෙන් ලැවසූරිය අමුණට ලැබී ඇති ජලය ද සීමා සහිත වී ඇතැයි ගොවියන් කියයි.
මේ හේතුවෙන් හප්පාවර වසම, බෝගහපිටිය කොටස, මහකටුයාය, කුඩාකටුව, නිකකැටිය වශයෙන් කොටස් කිහිපයකට බෙදා වෙන් කරන ලද ලැවසූරිය වෙල් යායට කොටස් වශයෙන් ජලය ලැබෙන බව ගොවියන් කීහ.
අපට මේ වන විට ජලය ලැබෙන්නේ සලාක ක්‍රමයට. එක් දිනක් ජලය ලබා දුන්නොත් තව දින තුනක් යනතුරු ජලය ලැබෙන්නේ නැහැ. අප බලධාරීන්ට දිගින් දිගටම මේ පිළිබදව කිව්වා. ඒත් විසදුමක් නැහැ. ඇතැම්විට ජලය බෙදා ගත නොහැකිව ගොවියන් අතර අර්බුද පවා මතු වෙනවා. අද අපට ජලය ලැබුණොත් නැවත ජලය ලැබෙන්නේ දින තුනකට පසුයි. ඒ වන විට ජලය ලැබුණත් ගොයම විනාශ වෙනවා යැයි උපාලි රත්නායක (57) ගොවි මහතා පැවසීය.
ටී.ඩබ්ලියු.එම්.ලොකු බණ්ඩා (48) ගොවි මහතා අදහස් දක්වමින්, අපි මේ වෙල් යායේ වැඩ කරන්නේ පරම්පරාවෙන්මයි. නමුත් මේ වගේ ජල හිගයක් කවදාවත් පැමිණ නැහැ. ඔයෙත් වතුර නැහැ. වළවල් හාරලා ඒ වළවල් වලින් ජලය ලබා ගෙන තමයි අපි නාන්නේ. මේ විදියට ගියොත් සති දෙක තුනකින් අපේ මුළු වෙල් යායම විනාශ වෙයි. එහෙමු වුණොත් අපට වී ඇටයක්වත් ලබා ගන්න වෙන්නේ නැහැ.
මහනුවර බදුල්ල රජ මාවතේ පිහිටා ඇති මෙම වෙල් යාය එම ප්‍රදේශයේ ගොවියන්ගේ ප්‍රධාන ජීවනෝපායවේ. යල මහ දෙකන්නයේ ම වී ගොවිතැන සිදුකරන මෙම වෙල් යාය අතුරු භෝග වගාවට යොමු වන්නේ ඉතා කලාතුරකිනි. ඒ තරමට ජලයෙන් පෝෂණය වූ ලැවසූරිය අමුණ හා වෙල් යාය අද වන විට ජල අර්බුදයකට පත්ව සිටියි.
ජලය මනා ලෙස කළමණාකරණය කර ගැනීම සදහා අදියර කිහිපයක් යටතේ ජලය ලබා දුන්නත් තමන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවන බව ගොවියන් කියති.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS