මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙෂ ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරය...
මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙෂ ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හඳුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප්‍රායෝගික අන්දමින් ජනතාව අතර ක්‍රියාත්මක නොවන බවයි.
පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කිසිසේත් කිසිවෙකු විසින් පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මගින් වැඩිම අවධානමට ලක්ව ඇති රටවල් අතර මේ වන විට ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බව ද සඳහන් කළේය.
දැවැන්ත පරිසර විනාශයත් සමග මතුව ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබඳ සියලු බුද්ධිමත් ජනතාව ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ පැහැදිළි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සමග නොපමා ව සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේ ය.
අද රක්ෂිත වනාන්තරවලට ඇතිවී තිබෙන බරපතළ තර්ජනය මෙරට පරිසර විනාශයට ප්‍රබල හේතුවක් වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ගස් කැපීමට භාවිතා කරන විදුලි කියත් බලපත්‍රයකට යටත් කිරීමට රජයක් ලෙස පළමු වරට තමා පසුගියදා තීරණයකට එළැඹියේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස බව ද කියා සිටියේය.
මෙම මාර්තු 01 වන දාට පෙර සෑම පුද්ගලයෙකුම සතුව තිබෙන විදුලි කියත් පිළිබඳ පොලිසිය දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්්‍යය බව සඳහන් කළ ජනාධිපතිවරයා පොලීසිය මෙන් ම ග්‍රාමීය ව කටයුතු කරන සියලු ක්ෂේත්‍ර නිලධාරින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.
අනවසරයෙන් මෙම විදුලි කියත් ළග තබාගතහොත් එම පුද්ලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවීම පිළිබඳ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම විදුලි කියත් මෙරරට ගෙන්වන වෙළඳ ආයතන සමග සාකච්ඡා කර ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳ තීණයකට එළැඹීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේ ය.
මේ අතර අවිධිමත් කසළ කළමනාකරණය ද පරිසර විනාශ ඉහළ යාමට බලපා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙළකට අදාළ ව රාජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රබල බාධාවක් වී ඇත්තේ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධයන් බව ද පැවසීය.
නව තාක්ෂණය ඇසුරෙන් ක්‍රියාත්මක කෙරෙන කසළ කළමනාකරණ ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ ප්‍රමාණාත්මක අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම විරෝධතාවයන් මතුවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යම් ප්‍රදේශයක කසළ කලමණාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ නම් අතුරු නිෂ්පාදන රැසක් සමග කෘෂිකර්මාන්තයට අදාළ ප්‍රතිලාභ රැසක් ද ඒ තුළින් එම ප්‍රදේශයට හිමිවන බව පෙන්වා දුන්නේ ය.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර මල්වතු ඔය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු නැවත කඩිනමින් ආරම්භ කරන බව ද පැවසීය.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ජනාධිපතිතුමා විසින් පැළයක් රෝපණය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පරිසර වැඩසටහන ආරම්භ කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාරිසරික ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ඇතුළත් වාර්තාව දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
COMMENTS