පසුගියදා අනුරාධපුරයේදී ගංජා කිලෝ පහාමාරක් ළඟ තබාගෙන හසුවූයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු බව තමන්ට දැනගැනීමට ලැබුණු බවත් එම වැටළ...
පසුගියදා අනුරාධපුරයේදී ගංජා කිලෝ පහාමාරක් ළඟ තබාගෙන හසුවූයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු බව තමන්ට දැනගැනීමට ලැබුණු බවත් එම වැටළීම කළ නොච්චියාගම පොලිසියේ නිලධාරීන්ට තමන් විශේෂ ස්තූතියක් පිරිනමන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයකු බවත් ඔහුගේ භාර්යාවත් උප පොලිස් පරීක්ෂකවරියක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තනතුරු, පදවි නොතකා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි.
එසේම වැලි, ගල්, පස් කැණීම් සඳහා බලපත්‍ර ලබාදෙන්නේ කවර ආයතනයක් වුවත් ඊට අදාළ සෑම ආයතනයක්ම පාහේ ඊට වගකිව යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
බලපත්‍ර ලබාදීමෙන් අනතුරුව එම ආයතන කැණීම් සම්බන්ධයෙන් පසුවිපරම් නොකරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"මට ආරංචි වුණා ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක් අනුරාධපුරයේ දී අත්අඩංගුවට අරන් තිබුණා කියලා ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන්. පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වගේම නොච්චියාගම පොලිසියට, වැටලීම් කළ නිලධාරීන්ට මා විශේෂ ස්තුතිය පිරිනමනවා. දැන් බලන්න ජනාධිපති ආරක්ෂක අංශයටත් මේක ඇතුළුවෙලා. ජනාධිපති ආරක්ෂක අංශයේ වාහනයක් නවත්තපුවාම හැදුනුම්පත ලබාදුන්නාම ජනාධිපති ආරක්ෂක අංශයේ කියලා යන්න කියනවා. වාහනය පරීක්ෂා කරලා බලන්නේ නැහැ. නමුත් පසුගිය දා අහුවුණේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහුගේ බිරිඳත් පොලිස් පරීක්ෂකවරියක්. මේවායේ දී තනතුර, පදවිය පිළිබඳ සලකන්නට එපා. කවුරුන් හෝ වැරදි සිදුකරනවා නම් නම් ඒවාට නීතිය තදින් ක‍්‍රියාත්මක වියයුතුයි."
COMMENTS