එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සත් දින නිල...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සත් දින නිල සංචාරය සාර්ථකව නිමවා ඊයේ (30) අලුයම යළි දිවයිනට පැමිණියේ ය.
ජනාධිපතිවරයා ඇමරිකා සංචාරය ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 23 වනදා යි. ජගත් සමුළුව ඇමතීමට අමතරව ජනාධිපතිවරයා මෙහිදී වැඩසටහන් රැසකට එක්වූ අතර ඒ අතරින් සුවිශේෂී සිද්ධියක් වූයේ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමින් ජනාධිපතිවරයා කළ කතාව නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට පාත‍්‍රවීමයි. එක්සත් ජාතීන්ගේ 73 වන සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට පෙර දිනයේ එනම් පසුගිය 24 වන සඳුදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති එම සමුළුව ලෝකයේ ප‍්‍රමුඛ අවධානයකට යොමු වූයේ විසි වන සියවසේ දී ලෝකය මුහුණ දුන් අභියෝග සියල්ලම සැලකීමේ දී ඒ සියල්ලටම එකවර මුහුණ දුන් දැවැන්ත දේශපාලන චරිතයක් වන දකුණු අප්‍රිකාවේ අසාහය නායක නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් එය සංවිධානය කර තිබීම යි.
ඊට සහභාගී වූ ලොව ප‍්‍රමුඛතම රාජ්‍ය නායකයන් අතරින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තැබු සලකුණ සුවිශේෂී වූ අතර අන් සියලු රාජ්‍ය නායකයන් එම අවස්ථාව නෙල්සන් මැන්ඩෙලා වර්ණනා කිරීමට යොදා ගනිද්දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන් නොනැවති සමස්ත ලෝක නායකයන් ඉලක්ක කර ගනිමින් වැදගත් කරුණු කිහිපයක්ම අවධාරණය කළේ ය. නෙල්සන් මැන්ඩෙලා පෙනී සිටි සාමය, සංහිඳියාව සහ සමානත්වය යන කරුණු කෙරෙහි පමණක් නොව අද ලෝකය වෙළාගෙන තිබෙන බලකාමය කෙරෙහි ද එහිදී ලෝක නායකයන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ජනතාවගේ සහ ලෝකයේ අනාගත යහපැවැත්ම උදෙසා ජාතික රාජ්‍යයන් පදනම් කර ගනිමින් එක් එක් නායකත්වයන් ගොඩනගා ගෙන ඇති අධිකතර බලය සීමා කිරීමෙහි ඇති වැදගත්කම ලෝකයට පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා කළ මෙම ප‍්‍රකාශය රාජ්‍ය නායකයන් රැසකගේම ඇගැයීමට ලක් විය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතනු ලැබුවේ ඉකුත් 25 වැනිදා යි. ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිව්වන වරට වන අතර විනාඩි 18 ක සිය දේශනය තුළ ජාත්‍යන්තර කරුණු මෙන්ම ලංකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද ලෝක නායකයින්ට පැහැදිලි කිරීමක් සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය. නූතන ලෝකයේ දේශපාලන ප‍්‍රවණතාවයන් තුළ රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අභ්‍යන්තර අභියෝග හමුවේ අප ගත යුතුව ඇති මඟ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට ජනාධිපතිවරයා එය කදිම අවස්ථාවක් කරගත්තේ ය. එමෙන්ම දශක ගණනාවකට පසු ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග තම ස්ථාවරය සෘජු ලෙස ප‍්‍රකාශ කරමින් ගැටුමකට තුඩු දිය හැකි අවස්ථාවන්ගෙන් බැහැර වූ දූරදර්ශී ප‍්‍රවේශයක් ලෙස ජනාධිපතිවරයාගේ එම දේශනය විචාරකයින් පෙන්වා දෙති.
සිය ඇමරිකා සංචාරයේ දී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා හා එම ආර්යාව විසින් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග‍්‍රහයකට ද ජනාධිපතිවරයා එක් වූ අතර මැලේසියා අග‍්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා සමග ද සාකච්ඡා පැවැත්වී ය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය සමඟ ද ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල දී සංවර්ධනයත්, සංහිදියාවත් කරා ශ‍්‍රී ලංකාව යන ගමනට එම බලවත් සංවිධානවල නොමඳ සහය තවදුරටත් ශ‍්‍රී ලංකාව වෙත ලබාගැනීමට හැකිවීම සුවිශේෂී ජයග‍්‍රහණයකි.
මේ අතර ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා ද නිව්යෝර්ක් නුවරදී ජනාධිපතිවරයා හමු වූ අතර නොවැම්බර් මාසයේ බැංකොක්හි පැවැත්වෙන ආහාර පර්යේෂණ සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනයක් සඳහා ද එහිදී ජනාධිපතිතුමා වෙත ඇරයුම් කරනු ලැබීය. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ තවත් වැදගත් කරුණක් වූයේ එක්සත් ජනපද රජයට අයත් සහස්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට එකඟතාව පළ කිරීම යි. ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට සෘජුව බලපාන ක්ෂේත‍්‍රවල ශීඝ‍්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ද ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව සිදුවූ තවත් වැදගත් කටයුත්තකි.
එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම හා ප‍්‍රතිපත්ති කෙරෙහි එහි ආරම්භයේ සිටම ගරුත්වයක් දක්වන ලද රටක් ලෙස නූතන ලෝක ප‍්‍රවණතා තුළ එක් එක් සාමාජික රටවල් මුහුණ දෙමින් සිටින අභියෝග මෙන්ම ජාතික වශයෙන් සපුරාගත යුතු ඉලක්ක පිළිබඳ සැලකීමේ දී ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙවර ඇමරිකා සංචාරය අතිශයින්ම වැදගත් සංචාරයක් ලෙස සනිටුහන් කෙරේ.
COMMENTS