අතීතයේ ශ්‍රී ලංකාව හැඳින්වූයේ, 'පෙරදිග ධාන්‍යාගාරය' යනුවෙනි. එහෙත් එම පෙරදිග ධාන්‍යාගාරයේ පරිභෝජනය සඳහා වර්තමානයේ විදෙස් රටවලින් ස...
අතීතයේ ශ්‍රී ලංකාව හැඳින්වූයේ, 'පෙරදිග ධාන්‍යාගාරය' යනුවෙනි. එහෙත් එම පෙරදිග ධාන්‍යාගාරයේ පරිභෝජනය සඳහා වර්තමානයේ විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට සිදුව තිබේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව 2017 වසරේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 748,500 ක් ආනයනය කර තිබේ. එය 2016 වසර හා සසඳා බලන විට මෙට්‍රික් ටොන් 718,276 ක වැඩිවීමකි.
සහල් මිල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, වී ගොවියෝ නියඟයට ගොදුරුවූ තම වගාවන් සඳහා වන්දි ඉල්ලන පුවත් ද විටින් විට මාධ්‍ය වාර්තා කරයි.
ජල හිඟය හේතුවෙන් ගොවිතැන් කිරීමට ඇති අපහසුතාව පිලිබඳ ගොවියෝ නිරතුරු මැසිවිලි නගති.
ශ්‍රී ලංකාවේ වී ගොවිතැන වැඩි වශයෙන් කෙරෙන ප්‍රදේශවලින් බහුතරය නියඟයෙන් පීඩාවට ලක්වන ප්‍රදේශ වේ. ඒ අනුව, කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ වී ගොවීහු බරපතල අර්බුදයකට පුහුණ පා සිටිති.
මෙම අර්බුදය මේ වන විට උග්‍ර වෙමින් පවතින්නේ, ගෝලීය උණුසුම ද දිනෙන් ඉහළ යාමේ තර්ජනයකට ලක්ව ඇති හෙයිනි. මෙම තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් ද?

මෙම අසීරු ප්‍රශ්නයට තමන් විසඳුමක් සොයාගෙන ඇති බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.
"වී ගොවිතැන වැඩි වශයෙන් කෙරෙන රජරට සහ හම්බන්තොට වැනි ප්‍රදේශ නිරන්තරයෙන් නියඟයට ලක් වන ප්‍රදේශ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා නියඟයට ඔරොත්තු දෙන වී වර්ග නිෂ්පාදනය කරන්න" බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා පැවසීය.
නියඟයට ඔරොත්තු දෙන වී ප්‍රභේදයක්
මේ සඳහා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයෙන් (International Rice Research Institute) ජාන වර්ග රැසක් වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයට ලැබී තිබේ.
"ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයෙන් අපට ජාන වර්ග රැසක් ලැබිල තියෙනවා. ඒත් ඒ ප්‍රභේද ඒ විදියට ම ගොවීන්ට නිකුත් කරන්න බැහැ. අපි විවිධ පර්යේෂණ කරනවා ඒවා පළිබෝධවලට ඔරොත්තු දෙනවා ද? හොඳ අස්වනු ලැබෙනවා ද? කියන කරුණු ගැන," ආචාර්ය ජයන්ත සේනානායක පැවසීය.
විශේෂයෙන් දුඹුරු පැහැ කීඩෑ හානිය, කොළ පාළුව වැනි සුලභ පළිබෝධවලට ඔරොත්තු දීමත්, වැඩි අස්වනු ලැබීමත් මෙහිදී විශේෂයෙන් සලකා බැලේ.
"අපට ලැබුණු ජාන සහ අපේ පාරම්පරික පැරණි වී ප්‍රභේද මිශ්‍ර කරල නිපදවපු නවතම වී ප්‍රභේද කිහිපයක් ම තවාන්වල වැඩෙමින් තියෙනවා. ඒ පැළ පර්යේෂණය කරන්න යම් කාලයක් ගත වෙනවා. එහෙම කාලයක් පර්යේෂණවලට ලක් කරපු ප්‍රභේදයක් දැන් 'ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුවට' ඉදිරිපත් කරන්න නියමිත යි."
එලෙස ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ, නියඟයට ඔරොත්තු දෙන සහ පළිබෝධවලට විනාශ නොවන වී ප්‍රභේදයකි.

ආචාර්ය ජයන්ත සේනානායක
තවදුරටත් පර්යේෂණ
මෙරට වී ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු වන්නේ, නියඟය සහ පසේ පවතින ලවණතාව යි.
රජරට ගොවීන් නියඟය නිසා අස්වැන්න පාළු කරගන්නා අතර දකුණේ ගොවීහු නියඟයට අමතරව පසෙහි පවතින ලවණතාව නිසා ද පීඩා විඳිති.
"මේ තත්ත්වයන්ට ගැලපෙන වී ප්‍රභේද කිහිපයක් දැන් තවාන් මට්ටමෙන් අත්හදා බලමින් තියෙනවා. එවැනි ප්‍රභේද 20 ක් පමණ ඉදිරි වසරේ සිට වසර 3 ක කාලයක් තුළ ගොවීන් අතට පත් කරන්න කටයුතු සූදානම් කරල තියෙනවා," බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය ලොව විශාලතම සහල් ජාන බැංකුව යි. එහි සහල් වර්ග 100 ට අධික සංඛ්‍යාවක් ඉදිරි අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කර තිබේ.
මෙම පර්යේෂණායතනය නියඟයන්ට, ජලගැලීම්වලට සහ පළිබෝධවලට ඔරොත්තු දිය හැකි වී ප්‍රභේද නිපදවීම සඳහා සෑම රටකට ම ජාන නිකුත් කරයි.
දිනෙන් දින උණුසුම් ලෝකයේ සහල් වර්ග සංරක්ෂණය කිරීම සහ අධික වන ගෝලීය උෂ්ණත්වයට ගැලපෙන වී ප්‍රභේද නිපදවීම එහි කාර්යභාරය වේ.
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි
ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවේ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සහ ජීවන මට්ටම්වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුව පසුගිය දා නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය කර තිබිණි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තාවේ දැක්වුණේ, 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පමණ ඉහළ යා හැකි බවය.

දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිර්දේශ
කාලගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ වී ගොවිතැනට වන බලපෑම අවම කර ගැනීම සඳහා අතීතයේ සිට පැවති වගා කාලසටහන්, වගා ක්‍රම මෙන් ම වෙනස් කිරීමට සහ ජලගැලීම්වලට මෙන් ම අධික උෂ්ණත්වයට ද ඔරොත්තු දිය හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගත යුතු බව දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දක්ෂිණී පෙරේරා පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ, නිරන්තරයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සමග සම්බන්ධ වී මේ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින බව ය.
"අපි සූදානම්"
මෙම තත්ත්වයන්ට මුහුණ දීමට හැකි ප්‍රභේද ගොවීන් අතට පත් කිරීමට සූදානම්ව සිටින බව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක වැඩිදුරටත් පැවසීය.
"අපි දැනටමත් කරල තියෙන පර්යේෂණ අනුව නව ප්‍රභේද ගොවීන් අතට පත් කිරීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැහැ. ලබන වසරේ සිට එම ප්‍රභේද නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා"
උපුටා ගැනිම - B B C
COMMENTS