එක්සත් ජාතික පක්ෂ උප නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දීමට අවසන් එකඟතාවය ඇති වී ති...
එක්සත් ජාතික පක්ෂ උප නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබේ.
යළි කැබිනට් අමාත්‍යධූරයට පත් කිරීමට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එජාප දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇත.
රවි කරුණානායක මන්ත්‍රීවරයා එලෙස දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී පෙරේදා (05) පැවැති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.
එම රැස්වීමට එජාප ජාතික සංවිධායක, අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති, අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා යන මහත්වරු සහභාගී වී සිටියහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමුවූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සදහන් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අගමැතිවරයා කළ දැනුම් දීමට අනුව නීතිපති මතයද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.
ඉහත පසුබිම යටතේ එජාප උප නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධූරය ස්ථිර වශයෙන්ම හිමිවිමට නියමිතය.
COMMENTS