උතුරේ ජාතීන් අතර ජාතික සංහිදියාව ගොඩ නැගීම සදහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය පසුගියදා උතුර...
උතුරේ ජාතීන් අතර ජාතික සංහිදියාව ගොඩ නැගීම සදහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය පසුගියදා උතුරේ දේශපාලනඥයින්ගෙන් හා රාජ්‍ය නිලධාරීගෙන් ඉල්ලා සිටියහ.
එතුමිය එම ඉල්ලීම කළේ වවුනියාව හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පැවති සාකාච්ඡා දෙකකදීය.
මේ හමුවලදී චන්ද්‍රිකා මහත්මියට බොහෝ දෙනෙකු කියා සිටියේ උතුරේ සිංහල හා දෙමළ ජනතාව මේ වනවිට සහෝදරත්වයෙන් යුතුව කටයුතු කිරීමේ විශාල වර්ධනයක් සිදු වී ඇති බවයි. මේ සදහා යුද හමුදාව විසින් යාපනය ඇතුළු උතුරු පළාතේ දියත් කොට ඇති විවිධ වැඩ සටහන් නිසා දෙමළ ජනතාව හමුදාව සමග තිබූ දුරස්භාවය මේ වන විට ඉතා සමීප තත්ත්වයකට පැමිණ ඇති බව පෙන්වා දුන්නේ උදාහරණ සහිතවය.
වවුනියාව දිසාපති කාර්යාලයේ මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්විණි.මෙහිදී පළාතේ දේශපාලනඥයින් කියා සිටියේ සිංහල ජනතාවට දෙමළ භාෂාව නොදැනීමත්,දෙමළ ජනතාවට සිංහල භාෂාව නොදැණීමත් යන කාරණාව නිසා ඔවුනොවුන්ට අදහස් හුවමාරුවේදී දැඩි ගැටළු සහගත තත්ත්වයක් ඇති බවයි.මුල් කාලයේදී භාෂා මධ්‍යස්ථාන තිබූ බවත් ඒ මධ්‍යස්ථාන වලින් භාෂා ඉගැන්වීමේ කටයුතු සිදු වූ නමුත් මේ වන විට එම මධ්‍යස්ථාන අඩාල වී ඇති බවත් මේ සාකච්ඡාවේදී හෙළිදරව් විණි.
භාෂාව ඉගැන්වීමෙදී අවශ්‍ය මානව සම්පත්වල දැඩි හිගයක් පැවතීමත් වියපත් ජනතාව භාෂා මධ්‍යස්ථාන වලට ගොස් භාෂා ඉගෙනගැනීමට දක්වන අකැමැත්තත් නිසා මේ ව්‍යාපෘතිය බිදවැටීමට හේටු වශයෙන් ඉදිරිපත් වූ නිසා යළිත් එම භාෂා මධ්‍යස්ථාන ශක්තිමත් කොට පවත්වාගෙන යාමට තීරණය විණි.
සිංහල හින්දු අළුත් අවුරුදු සමය,වෙසක් පොසොන් ඇසල සමය මේ ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කරවීමට සමත් අවස්ථාවන් වූවත් උතුරේ හින්දු කෝවිල වල පැවැත්වෙන වාර්ෂික මංගල්ලයන් හා උත්සව සිංහල ජනතාව තුළට නොයෑම ජාතික සංහිදියාව වර්ධනය කරවීමේදී අතපසු වී ඇති කාරණයක් බව උතුරේ ජනතාව කියා සිටිති.යුද හමුදාව හා සෙසු ආරක්ෂක අංශ පමණක් එම කෝවිල් වල උත්සව වලට සහභාගී වන බව පෙන්වා දුන් ඒ පිරිස අවධාරණය කොට සිටියේ මේ තත්ත්වයන් වර්ධනය විය යුත්තේ සාමාන්‍ය ජනතාව අතර බවයි.
ඊට අමතරව එන්ටර්ප්‍රයිස් ඔෆ් ශ්‍රී ලංකා වැඩ සටහන සදහා වවුනියාව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ හැකි හා ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරිණි.වසර ගණනාවක්ම යුද්ධයෙන් පීඩා විදි ජනතාවක් වෙසෙන මෙම පළාතේ මූලිකත්වය කෘෂිකාර්මික නිෂ්පාදනයන් සදහා ලබා දීමට සුදුසු බව තීරණය වූ අතර සුළු හා මධ්‍යම පරිමාණයේ කාර්මික හා කර්මාන්ත කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් ඒ සදහා දිරිමත් කිරීමටද සාකච්ඡා කෙරිණි.
(දිනසේන රතුගමගේ)
COMMENTS