කොළඹ මහනගර සභාවේ නගරාධිපති කාර්යාලයේ ඇති බුදුපිළිමය ඉවත්කිරීම ගැන නගන චෝදනා අසත්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. සිර...
කොළඹ මහනගර සභාවේ නගරාධිපති කාර්යාලයේ ඇති බුදුපිළිමය ඉවත්කිරීම ගැන නගන චෝදනා අසත්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
සිරි වජිරාරාම දහස් පාසලේ සියවත් සමරු උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) පැවැත්විය.
එම සියවස් සමරු උත්සවයේදී අනුශාසනාවක් ඉදිරිපත් කරමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ කියා සිටියේ වත්මන් නගරාධිපතිනිය, නගරාධිපති කාර්යාලයේ බුදුපිළිමය ඉකුත් දා (17) ඉවත් කළ බවයි. එමෙන්ම 1956 වසරේ නගරාධිපතිව සිටි වී.ඒ. සුගතදාස මහතා මෙම බුදුපිළිමය තැන්පත් කළ බවත් එදින සිට පත්වූ සියලු නගරාධිපතිවරුන්ගේ පාලන කාලවල මෙම බුදුපිළිමය පැවැති බවත්ය.
කෙසේ නමුත් මෙම චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් වත්මන් නගරාධිපතිගෙන් ඒ බව විමසූ බවත් එම අවස්ථාවේදී වත්මන් නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ එම බුදු පිළිමය තවමත් නගරාධිපති කාර්යාලයේ ඇති බවය.
යුද ස්මාරක ඉවත් කරන්න
මේ අතර, උතුරේ ජනාකීර්ණ ස්ථාන රැසක ඇති යුද ස්මාරක මගින් දෙමළ ජනතාව තුළ යුද්ධයේ අතීත අමිහිරි අත්දැකීම් යළි යළිත් සිහිගන්වන නිසා එම ස්මාරක ඉවත් කිරීමට හෝ යළි ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා සිටී.
ඉකුත්දා (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව දන්වා තිබේ.
උතුරු පළාතේ ප්‍රධාන නගරවල පිහිටුවා තිබෙන මෙම යුද ස්මාරක මගින් දෙමළ ජනතාව තුළ වෛරය හා ජාතිවාදී හැඟීම් වර්ධනය වීමට හේතුවක් වන බවත් උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් පසු මෙම කාල පරිච්ජේදය තුළ වත්මන් රජය සංහිඳියාවේ ප්‍රවේශයකට ගමන් කරමින් සිංහල හා දෙමළ ජනතාව අතර අනේයා්න්‍ය අවබෝධය හා ජාතික සමගිය ඉස්මතු කරවීමේ තවත් පියවරක් ලෙසට මෙම ස්මාරක ඉවත් කිරීම හෝ යළි ප්‍රතිනිර්මාණය කරන ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයා යැවූ මෙම ලිපියේ සඳහන් වෙයි.
මෙම කාරණය සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙවැනි ස්මාරක ඉදිකිරීම නවත්වන ලෙසටත් ආරක්ෂක අංශ වෙත නියෝග කරන ලෙසද මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
විග්නේෂ්වරන් මහතා කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙයි. උතුරු පළාත් සභාව විසුරුවීමෙන් පසු කිලිනොච්චි ප්‍රදේශය තුළ විහාරස්ථාන දෙකක් ඉදිකිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සැලසුම් සකස් කරමින් සිටින බවට විග්නේෂ්වරන් මහතා ඉකුත් 23දා දෙමළ පුවත්පතකට කර තිබෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් සාවද්‍ය බව එම නිවේදනයේ සඳහන් වෙයි.
පටු දේශපාලන වාසි තකා සැමවිට අසත්‍ය ප්‍රකාශ සිදුකරන විග්නේෂ්වරන් මහතා උතුරේ යුද ස්මාරක මගින් දෙමළ ජනතාව තුළ වෛරයක් ඉස්මතු වන බව ප්‍රකාශ කිරීම තවත් සාවද්‍ය ප්‍රකාශයක් බවද එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
COMMENTS