අගමැති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක හෝමාගම ගලවිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (11) අලුයම යතුරුපැදියක් ගැටී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු බරපතල ත...
අගමැති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක හෝමාගම ගලවිවත්ත ප්‍රදේශයේදී ඉකුත්දා (11) අලුයම යතුරුපැදියක් ගැටී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල මූලික රෝහලට ඇතුලත් කළ බව හෝමාගම පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ හෝමාගම රෝහල පාරේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙකු සහ වයස අවුරුදු 55ක පමණ කාන්තාවකි. ජීප් රථය අවිස්සාවේල්ල දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බවටත් යතුරුපැදිය අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ධාවනය කරමින් සිට ඇති බවත් පොලීසිය එම ස්ථානයේ සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී ජීප් රථයේ අගමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙක් ගමන් කර ඇති අතර ජීප් රථය ධාවනය කළ නිළධාරියා සුළු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.
එම අනතුරෙන් යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයාගේ පාදයට බරපතළ තුවාල සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජීප් රථය සහ යතුරුපැදිය හෝමාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව හෝමාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
COMMENTS