මන්නාරම සතොස තොග ගබඩා සංකීර්ණය අසල පිහිටි සමූහ මිනී වළේ කැණීම් කටයුතු අගෝස්තු මස පලමු වෙනිදාට නිම කරණ විට පුද්ගලයින් හැට දෙකකට අයත් මිනිස්...
මන්නාරම සතොස තොග ගබඩා සංකීර්ණය අසල පිහිටි සමූහ මිනී වළේ කැණීම් කටයුතු අගෝස්තු මස පලමු වෙනිදාට නිම කරණ විට පුද්ගලයින් හැට දෙකකට අයත් මිනිස් ඇටසැකිළි හා අස්ථි කොටස් හමු වී තිබේ.
මෙම සමූහ මිනීවල කැණීමේ කටයුතු ආරම්භ කොට අගෝස්තු මස පලමු වෙනිදාට දින හතළිස් පහක් ගත වී තිබේ.
මෙම සමූහ මිනී වලේ තිබී හමුවූ මිනිස් ඇටසැකිලි 34 ක් මේ වන විට මන්නාරම අධිකරණය වෙත බාර දී ඇති අතර තවත් ඇටසැකිලි කීපයක් මේ සතීයේදී බාරදීමට නියමිතය.
මේ ඇටසැකිලි හා අස්ථි කොටස් සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණයක් සිදුකොට මේ පිරිස මියගිය දින වකවානු හා ඔවුන් පිළිබද විස්තර ලබාගැනීමට ඒවා ඇමරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරය වෙත යැවීම් කෙරෙහි අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර නිගමනයකට එළඹ නොමැත.
පසුගිය මාර්තු 25 වැනි දා කොන්ත‍්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවී තිබූ බව පොලිසිය කියයි.
අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචිවැසියකු තම නිවස වෙත ටිපර් රථ යොදාගෙන ගෙන පස් රැගෙන ගොස් තිබු අතර එහි තිබූ අස්ථි කොටස් දැක මන්නාරම පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ඒ අනුව හමුවූ අස්ථි සම්බන්ධයෙන් පසුගිය මැයි 28 දා සිට හිටපු මන්නාරම මහෙස්ත‍්‍රාත් ඒ.ඩී ඇලෙක්ස් රාජා මහතාගේ අධීක්ෂණ යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේශණ අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් හා පුරාවිද්‍යා නිලධාරීන් , පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එක්ව කැණීම් සිදුකරනු ලැබීය.
හමුවූ අස්ථි කොටස් අධිකරණ නියෝග මත මන්නාරම රෝහලේ විශේෂ ඒකකයක තැන්පත් කර ඇති අතර මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ ආරක්ෂාව ද මේ වන විට තරකර ඇති බව මන්නාරම පොලිසිය පවසයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS