ආරක්ෂක අංශ භාරයේ පැවැති උතුරේ ඉඩම්වලින් සියයට 88ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් අතර, ඉතිරි සියයට 12ක ප්‍රමාණය ද කඩ...
ආරක්ෂක අංශ භාරයේ පැවැති උතුරේ ඉඩම්වලින් සියයට 88ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් අතර, ඉතිරි සියයට 12ක ප්‍රමාණය ද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 02 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මයිලිඞ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (22) පෙරවරුවේ එක්වෙමිනි.
රටේ සමස්ත ධීවර කර්මාන්තය සක්‍රීය මාවතකට යොමු කිරීමේ මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 400 ක වියදමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන්කෙළේ මෙම ධීවර වරාය ආශ්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවට ද ඉඩම් ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත්
විනාශ කර දමමින් රට ආපස්සට ඇද දැමු ම්ලේච්ඡ ත්‍රස්තවාදයට කිසිසේත් යළි රට තුළ ඉඩක් තැබිය නොහැකි බව ද කියා සිටියේය.
පශ්චාත් යුද සමයේ වගකීම් නිසි ලෙස ඉටුකරමින් ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනාවලින් ද රට නිදහස් කර ගැනීමට වත්මන් රජය ඉකුත් වසර 03 තුළ කැපවීමෙන් කටයුතු කෙළේ රටට ලැබූණු නිදහස සැබෑ නිදහසක් කර ගැනීමට බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා උතුරු නැෙඟෙනහිර අඩපණ වූ සංවර්ධනය යථාවත් කරමින් එම ජනතාවගේ සංවර්ධන අයිතිවාසිකම් දිනා දීමට ද රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ප්‍රකාශ කෙළේය. ඒ වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක් ද ස්ථාපිත කර තිබෙන අතර එය නිරන්තරයෙන් රැස් වෙමින් ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම සිදු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. කිසිදු
ජනාධිපතිවරයෙක් තමන් තරම් උතුරේ සංචාරය කර නොමැති බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා තමන් ඒ සඳහා එක්වන්නේ එම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් අදාළ සේවාවන් කඩිනම් කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට බව කියා සිටියේය.
උතුර ඇතුළු රටටම අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කෙළේය.
සමරු ඵලකය නිරාවරණය කර මයිලිඞ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මයිලිඞ්ඩි ධීවර ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පුද කරමින් සමරු තිළිණයක් පිළිගැන්වීම ද සිදු කෙරිණි.අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ ධීවර ජනතාව සමග සුහද කතා බහක ද නිරත විය.
ඇමැති විජිත් විජිතමුණි ද සොයිසා, රාජ්‍ය ඇමැති දිලීප් වෙදආරච්චි, නියෝජ්‍ය ඇමැතිවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා, ඩී. සිද්ධාර්තන් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාතේ මහජන නියෝජිතයින් රැසක් සහ ප්‍රදේශයේ ජනතාව මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කළා
මේ අතර පසුගිය ආණ්ඩුව විදේශිකයන්ට ඉඩම් සින්නක්කර අයිතියට විකුණා දැමුවත් යහපාලන ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
යාහපාලන ආණ්ඩුව රටේ කිසිදු බිම් අඟලක් විදේශිකයකුට විකුණා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහනේ බද්දේගම පැවැති ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයට පෙරේදා (21) එක්වෙමින් එසේ කී අගමැතිවරයා ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් කිසිලෙසක බිය නොවන බවද කියා සිටියේය.
පසුගිය ආණ්ඩුව කොළඹ වරාය නගරය ඉදිකරන්න චින සමාගමට ඉඩම් අයිතිය සින්නකරව ලබාදී තිබූ බවද අනාවරණය කෙළේය.
2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වූවාට පසු නැවත එම ඉඩම ලබා ගෙන වරාය නගරය අනූනව අවුරුදු බද්දට ආයෝජනය සඳහා ලබාදෙන්න හැකි වු බවත් හෙතෙම සිහිපත් කෙළේය.
එසේම කොළඹ හමුදා මූලස්ථානය සඳහා තිබූ භුමිය ෂැංග්‍රිලා හෝටලය ඉදිකිරීමට පසුගිය ආණ්ඩුව සින්නක්කරව විකුණා දැමීමට කටයුතු කළ බවත් වික්‍රමසිංහම මහතා කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
ෂැංග්‍රිලා ඉඩම අප දැනගෙන හිටියේ යුද හමුදා මූලස්ථායේ ක්‍රීඩා පිටිය සහිත බිම ලෙසයි.එයත් විකිණුවා. අපි බලයට එන විට ෂැංග්‍රිලා හෝටලය හදන්නත් ආරම්භ කරලා. අප යුද හමුදා මුලස්ථානය ගැන අපි එදා පාර්ලිමේන්තුවේදී විමසුවා. යුද හමුදා මූලස්ථානය අකුරගොඩට ගෙනයනවා කියා පැවසුවා. ඉඩම විකුණලා ලැබුණු මිලියන 25,000න් ගොඩනැගිල්ල හදනවා කියා කිව්වා.
අපි ආණ්ඩුව ආවට පසුව ඒකත් 99 බදු ක්‍රමයට දෙන්න පුළුවන්ද කියා බැලුවා.නමුත් එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කර තිබුණ නිසා එය නොහැකි වුණා. යුද්ද හමුදාවට මූලස්ථානය නැතිවුණා. අකුරුගොඩ යුද්ද හමුදා මූලස්ථානය තවම අවසන් කර නැහැ. එහි දැනට ඇස්තුමේන්තු කර තිබෙන්නේ මිලියන 55,000ක් හැටියටයි. මේක අවසන් වන විට මිලියන 70,000ක් විතර වේවි.
ගෙවල් කීයක් හදන්න තිබුණ මුදල් ද මේ. මොනවද යුද්ද හමුදා මූලස්ථානය ඔතනින් අයින් කෙළේ. දෙවන ලෝක යුද්ද කාලයේදීත් යුද්ද හමුදා මූලස්ථානයන මේ ස්ථානයේයි තිබුණේ. පසුගිය ආණ්ඩුව එහෙම තමයි විදේශිකයින්ට ඉඩම් විකිණුවේ. ආයෝජකයින්ට හෝටලයක් දාන්න උවමනා නම් ඉඩමක් බද්දට දෙන්න තිබුණා. අපේ ආණ්ඩුව ඇති කළාට පසුව අපේ අවධානය යොමු වුණේ අපේ ජනතාවට ඉඩම් ලබාදෙන්නයි. ඒ වැඩ කටයුත්ත තමයි අපි මේකර ගෙන යන්නේ. මේ ඉඩම් ඔප්පු දස දහසෙන් නවතින්නේ නැහැ. ඉඩම් ඔප්පු දස ලක්ෂයම ලබාදී සින්නකර අයිතිය ලබාදෙන්නත් අපි කටයුතු කරනවා. ඒ කෙටුම්පත් අපි සකස් කරගෙන තිබෙනවා යැයිද අගමැති වික්‍රමසිංහ මහතා කීය.
COMMENTS